Eventsඅදහස්තාක්ෂණයනව පත්වීම්පුවත්රාජ්‍ය

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කරයි

රජයේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු යොදා තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ දිනයේදී ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ලබාදීම සිදු විය.

ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයෙකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා දැනට ආසිආටා සමාගමේ (Axiata Group Bhd) විදුලි සංදේශ ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත.

හාන්ස් විජයසූරිය මහතා නියමිත කාලයකින් පසුව දැනට ආසිආටා සමාගමේ හොබවන තනතුරුවලින් ඉල්ලා අස්වීමටද නියමිතව තිබේ.

මෙම කාලය තුළදී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විධායක නොවන සභාපතිවරයා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙනු ඇතැයිද ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ හරහා රජය අපේක්ෂා කරන ඩිජිටල් පරිවර්තනය සඳහා අදාළ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇතැයිද සඳහන් වෙයි..

අදාළ පත් කිරීමෙන් පසු ඩිජිටල් ආර්ථිකයට අදාළ ආයතනික රාමුව තුළ විධායක නායකත්ව භූමිකා කිහිපයක් ඔහු ඉටු කිරීමට නියමිතය. මීට අමතරව, ජනාධිපතිවරයාගේ ඍජු විෂය පථය යටතේ අලුතින් පිහිට වූ අමාත්‍යංශයක් වන ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඩිජිටල් ආර්ථික ත්වරණය අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ඉහළම ආයතනයක් වන ඩිජිටල් ආර්ථික අධිකාරියේ සභාපතිවරයා යන තනතුරු ද්විත්වයම ඒ මහතා විසින් දරනු ඇතැයිද සඳහන් වෙයි.

Views: 81