අම්බුළුවාවේ ඉදිවුණු අලුත්ම සංචාරක අත්දැකීම W15 AMBULUWAWA
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව බලාපොරොත්තුවක් එක් කරමින් W15 හෝටල් සමූහයේ අලුත්ම සාමාජිකයා W15 Ambuluwawa අද (01 දා) සිට දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත වෙයි.
මධ්‍යම පළාතේ ගම්පොළ නගරයේ උස් කඳුවැටියක පිහිටි දෙස් විදෙස් සංචාරකයන්ගේ අතිශය ජනාදරයට පත් අම්බුළුවාව බහු සංස්කෘතික ජෛවවිවිධත් පරිශ්‍රයට කිලෝමීටරයක් පමණ සමීපයෙන් මෙම W15 Ambuluwawa හෝටලය පිහිටා තිබේ.
මෙලෙස අතිශය පොහොසත් ජෛවවිවිධත්වයකින් යුත් පරිසරයක මෙම හෝටලය පිහිටා ඇති නිසාම පරිසරය ආදරය කරන සංචාරකයන්ට මෙය කදිම නවාතැන් පොළකි.
එක් පසෙකින් ගම්පොළ නගරයත්, අනෙක් පසින් බතලේගල කන්ද ඇතුළු කඳුවැටියත් ඉතාමත් අලංකාර ලෙස දර්ශනය වන ලෙස මෙම හෝටලය සැලසුම් කර තිබීම කැපී පෙනෙයි.
මෙලෙස අම්බුළුවාව කේන්ද්‍ර කරගනිමින් සංචාරක හෝටලයක් ඉදිකිරීමේ අදහස පළමුවෙන්ම මතුව ඇත්තේ W15 හෝටල් සමූහයේ සභාපති හාර්ඩි ජමාල්ඩීන් මහතා වෙතයි. අද වනවිට W15 සමූහය කොළඹ, වැලිගම, නුවරඑළිය, හන්තාන, අහංගම මෙන්ම කොළඹ වරාය නගරයද ඇතුළු ස්ථානයන්හි ආපනශාලා සහ සංචාරක හෝටල් හතක් පවත්වාගෙන යයි.
“අම්බුළුවාව කියන්නේ ආගමික සංහිඳියාවේ සහ සහජීවනයේ සලකුණක්. ඒ නිසා අම්බුළුවාවට සමීපව අපගේ අලුත්ම W15 සාමාජිකයා විවෘත කිරිමට ලැබීම ආඩම්බරයක්. ඒ වගේම අපි හෝටලයක් ඉදිකිරීමට තෝරාගත් දර්ශනීයම පරිසරය මෙයයි. මෙය ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් W15 හෝටල් සමූහය ලබාදෙන තිලිණයක්.“ යනුවෙන් ජමාල්ඩීන් මහතා සඳහන් කළේය.
අංශක 360ක දර්ශනයකින් යුක්තව ස්වාභාවික වටපිටාව පෙනෙන නිසා හෝටලයෙන් ලබන අත්දැකීම කලාගාරයකින් ලබන අත්දැකීමක් හා සමානය. පරිසරයට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් ඉදිකර ඇති මෙම හෝටලය සතු සුඛෝපභෝගී කාමර සංඛ්‍යාව අටකි. ඒවා Delux සහ Standard කාමර හතක් සහ සහ එක් Master Suite ලෙස පවතී.
හෝටලයේ මෙන්ම මෙම කාමරවලද බිම සිට සිවිලිම දක්වා ඉතා උස් වූ ජනේල නිමවා ඇත්තේ සංචාරකයන්ට කඳුකර වටපිටාව ඉතාමත් සමීපව හා පැහැදිලි ලෙස අත්විඳීමට අවස්ථාව සලසා දෙමිනි.
එසේම W15 Ambuluwawa හෝටලයේ ඇති විශේෂිතම අත්දැකීම වන්නේ ඉතාලියානු අල්- ෆ්‍රෙස්කෝ ශෛලියෙන් නිමවා ඇති එළිමහන් අවන්හලයි. අවට කඳුකර පරිසරයේ සුන්දරත්වය විඳ ගනිමින් දෙස් විදෙස් ආහාර පාන රස විඳීමේ අවස්ථාව මෙහිදී ලබා දෙයි. එසේම සවස් කාලයේදී කඳුවැටි අතරින් හිරු බැස යන සුන්දර දර්ශනය දැක ගනිමින් මධූ විතෙන් සප්පායම්ව රාත්‍රී භෝජනයක සුවය විඳ ගැනීමටද අවස්ථාව සැලසෙයි.
මීට අමතරව පරිසරයට ආදරය කරන සංචාරකයන් සඳහා මෙම W15 Ambuluwawa හෝටලය ආශ්‍රිතව බොහෝ ක්‍රියාකාකරම් පවතින බව W15 හෝටල් සමූහයේ අලෙවි ප්‍රධානී නදීරා ප්‍රනාන්දු මහත්මිය අප හා පැවසුවාය. එහිදී උදෑසන කුරුල්ලන් නැරඹීමේ අවස්ථාව මෙන්ම ඒ අවට පරිසරයේ ඇති ජෛවවිවිධත්වය පිළිබඳ දැනුම ලබා දීම සඳහාද සුදුසුකම් ලත් කණ්ඩායමක් මෙම හෝටලයේ සිටියි.
“අම්බුළුවාව ආශ්‍රිතව පවතින සුන්දර වැව සංචාරකයන්ට හොඳ අත්දැකීමක් ලබා දේවි. කන්දේ සිට ගලා එන ජලය හරස් කරමින් මිනිසුන් විසින් සකස් කළ මෙම වැවෙහි බෝට්ටු පැදීමේ අවස්ථාව සංචාරකයන්ට හිමි වෙනවා. ඒ වගේම එම ප්‍රදේශයට ආවේණික පක්ෂී විශේෂ දැක ගැනීමටත් මෙහිදී පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අභියෝගාත්මක ක්‍රීඩාවන්හි නිරතවීමට කැමැති සංචාරකයන් සඳහා පයින් ට්‍රී ඇඩ්වෙන්චර්ස් සමාගම මගින් පවත්වාගෙන යන ක්‍රීඩා සංකීර්ණයකුත් මේ අම්බුළුවාවේ තිබෙනවා.“ ඇය පැවසුවාය.
ඒ අනුව මෙම W15 Ambuluwawa හෝටලය ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්තය සඳහා නව ගමන් මාර්ගයක් නිර්මාණය කරනු ඇතැයි විශ්වාසය පළ කරයි. එසේම වඩාත් පරිසර හිතකාමී සහ තිරසර අන්දමින් මෙම හෝටලය පවත්වාගෙන යාමත් ඔවුන්ගේ අරමුණ වී තිබේ. විශේෂයෙන්ම මෙම හෝටලය කාමර අටකින් සමන්විතව ඉදිකර ඇත්තේද සංචාරකයන් අධික ලෙස පැමිණීම නිසා පරිසරයට ඇති වන බලපෑම අවම කිරීමේ අරමුණිනි.
“W15 හෝටල් සමූහය විදියට අපි හැම තිස්සේම කල්පනා කරන්නේ තිරසර සංචාරක කර්මාන්තයක් පවත්වාගෙන යාමටයි. මේ W15 Ambuluwawa හෝටලය තුළත් මේ සංකල්පය අපි ක්‍රියාත්මක කරනවා. එතැනදී අම්බුළුවාව නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා දැනට ඇති ඉන්ධන දහන ත්‍රීරෝද රථ වෙනුවට මෙම මාසය ඇතුළතදීම විදුලියෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ යොදවනවා. එහිදී අපි අම්බුළුවාව පිවිසුමේ සිටින ත්‍රිරෝද රථ විදුලියෙන් ක්‍රියාත්මක ත්‍රිරෝද රථ බවට පත් කිරීම සිදු
කරනවා. ඒ සඳහා සුප්‍රසිද්ධ Vega සමාගමත් සමගින් අපි එකඟාවට පිවිස තිබෙනවා.“ යනුවෙන් සමූහයේ සභාපති හාර්ඩි ජමාල්ඩීන් මහතා පවසයි.
මේ අතර අම්බුළුවාව සම්බන්ධ කරමින් අලුතින් ඉදි කෙරෙන කේබල් කාර් ව්‍යාපෘතියද W15 Ambuluwawa ව්‍යාපෘතියේ සාර්ථකත්වයට හේතුවනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ. සැලැසුම් කෙරී ඇති ආකාරයට අම්බුලුවාව දුම්රිය ස්ථානයත් මෙම කේබල් කාර් ව්‍යාපෘතියකින් සම්බන්ධ කෙරෙන අතර, ඒ අනුව සංචාරකයන්ට වඩාත් පහසුවෙන් අම්බුළුවාව වෙත පැමිණීමේ අවස්ථාව ලබා දෙනු ඇත.
Views: 156