ආර්ජන්ටිනාවේ වාමාංශික ආණ්ඩුකාරවරයෙක් තමන්ගේම මුදල් නෝට්ටු නිකුත් කරයි
ආර්ජන්ටිනාවේ වයඹ දිග පළාතේ පිහිටි ලා රිඕජා පළාතේ ආණ්ඩුකාරවරයා වන රිකාර්ඩෝ කුයින්ටෙලා විසින් එම පළාතට පමණක් වලංගු වන නව මුදල් නෝට්ටුවක් හඳුන්වා දෙන්නට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
Chacho නමින් හැඳින්වෙන මෙම මුදල් නෝට්ටු පසුගිය අගොස්තු මාසයේදී සංසරණය සඳහා නිකුත් කෙරුණු අතර, මේ වනවිට එම පළාතේ සාප්පු සංකීර්ණ ඇතුළු ස්ථානවල ගනුදෙනු සඳහා මෙම මුදල් ඒකකය යොදා ගන්නා බව පැවසෙයි.
ආර්ජන්ටිනාවේ වත්මන් ජනාධිපති, අන්ත දක්ෂිණාංශික ජ්වියර් මිලේලි විසින් ගන්නා ලද තීරණයකට අනුව පළාත් වෙත ලබා දෙන රජයේ අයවැය කප්පාදු කිරීමේ තීරණයත් සමගින්ම ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන තිබේ.
ආර්ජන්ටිනාව මුහුණ දෙන ආර්ථික අර්බුදයත් සමගින්ම එකඟතාවට පත්ව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුමට අනුකූලව සිදු කරන වියදම් කප්පාදුව යටතේ ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් මධ්‍යම රජය මගින් ලබා දෙන මුදල් සිය පළාතේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් නොවන බව පවසමින් ආණ්ඩුකාරවරයා මෙම නව Chacho මුදල් ඒකකය නිකුත් කර ඇත.
මෙම මුදල් නෝට්ටු තුළ එම පළාතේ ඓතිහාසික ස්ථාන, චරිත ඇතුළත් කර තිබේ. එම මුදල් නෝට්ටු chacho 1,000, 2,000, 5,000, 20,000 සහ 50,000 යන වටිනාකම්වලින් සඳහන් කර ඇත.
මෙම නව මුදල් ඒකකය මගින් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම්වලින් 30%ක් ගෙවා දැමිය හැකි බව ලා රිඕජා පළාත් බලධාරීන් පවසයි.
අද වනවිට ලා රිඕජා පළාතේ සාප්පු සංකීර්ණ, අලෙවිසැල්, ආපනශාලා මෙන්ම ඉන්ධන පිරවුම්හල් ඇතුළු ස්ථාන සියල්ලක්ම පාහේ මෙම Chacho මුදල් ඒකකය පිළිගන්නා බව සඳහන් දැන්වීම් පළ කර ඇතැයි සඳහන් වෙයි.
එහිදී ආර්ජන්ටිනාවේ වලංගු මුදල් ඒකකය වන පේසෝ මුදල් ඒකකය හා සමාන වන ලෙස විනිමය අනුපාතය පවත්වාගෙන යාමට මෙම පළාත් රජය කටයුතු කරන බවට සහතික වී තිබේ. එම මුදල් හුවමාරුවද බලයලත් රජයේ විනිමය හුවමාරු ස්ථානවලදී පමණක් සිදුකළ හැකිය.
එසේම එම පළාත තුළ බදු ගෙවීම් සඳහා මෙන්ම උපයෝගිතා බිල්පත් ගෙවීමටද මෙම මුදල් ඒකකය පිළිගන්නා බව පැවසෙයි. කෙසේ වෙතත් ලා රිඕජා පළාතෙන් පිටතදී මෙම Chacho මුදල් ඒකකය භාවිත කළ නොහැකි බව සඳහන් වෙයි.
Views: 121