කොළඹ කොටස් හුවමාරුව ආයෝජන නොවන ශ්‍රේණියේ බැඳුම්කර හඳුන්වා දෙයි
කොළඹ කොටස් හුවමාරුව (CSE) සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, ආයෝජන නොවන ශ්‍රේණියේ බැඳුම්කර හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි පවසයි.
ණය නිකුත් කිරීම හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා මෙම හඳුන්වාදීම සිදු කිරිමට කටයුතු යොදා තිබේ.
විශේෂයෙන්ම ආයෝජන ශ්‍රේණියේ ශ්‍රේණිගත කිරීම සදහා වන නිර්ණායක සපුරාලන්නේ නැති සමාගම්වලට CSE හරහා බැඳුම්කර නිකුත් කිරීමෙන් ප්රාග්ධනය රැස් කිරීමට මින් ඉඩ සැලසෙන බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.
ආයෝජන ශ්‍රේණියට වඩා අවම වශයෙන් එක් ස්ථරයක අවම ශ්‍රේණිගත කිරීමක් අවශ්‍ය වන සම්මත ලැයිස්තුගත සාංගමික බැඳුම්කර මෙන් නොව, මිට පෙර එවැනි දැඩි අවශ්‍යතා සපුරාලීමේදී අභියෝගවලට මුහුණ දුන් සමාගම්වලට මෙම කටයුත්ත හරහා පහසුවෙන් ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශ විය හැක.
මෙම ආයෝජන නොවන ශ්‍රේණියේ බැඳුම්කර නිකුත් කිරීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන විශේෂිත සමාගම් වර්ග පමණි.
ඒ අනුව බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ රක්ෂණ සමාගම් ඇතුළු නියාමනය කරන ලද ආයතනවලට මෙම නව මූල්‍යකරණ අවස්ථාවට සහභාගී විය හැකි බව මින් සහතික කෙරේ.
මෙම බැඳුම්කර කොළඹ කොටස් හුවමරුවේ ලැයිස්තුගත කරන මුත්, වෙළඳ කටයුතු “සුදුසුකම් ලත් ආයෝජකයින්ට” සීමා කර ඇති වෙළඳපොළින් බැහැර ගනුදෙනු (OTC) වේදිකාවේ සිදුවනු ඇතැයිද කොළඹ කොටස් හුවමාරුව පවසයි.
බාසල් III අනුකූල සුරැකුම්පත් හා සම්බන්ධ ආයෝජකයින් මෙන් මෙම ආයෝජකයෝ ද, අවදානම් කළමනාකරණය කිරීමේදී සාමාන්‍යයෙන් වඩා පළපුරුදු අය බවත් සඳහන් වෙයි.
ඔවුන් බොහෝ විට ඉහළ අවදානම් සහිත ප්‍රවේශයක් හරහා කළඹ කළමනාකරණය කරන බැවින්, ඉහළ ප්රතිලාභ ලබා ගත හැකි වනු ඇත. ඒ ආකාරයෙන් වැඩි අවදානම් සහිත බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ඔවුන්ගේ කළඹ විවිධාංගීකරණය කිරීමට ඔවුන්ට ඉහල අවස්ථාවක් ලැබෙන බවත් කොළඹ කොටස් හුවමාරුව වැඩි දුරටත් සඳහන් කරයි.
Views: 92