ලයිකා නිර්මාතෘ අල්ලිරාජාගෙන් දේශපාලන පක්ෂයක්

සුප්‍රසිද්ධ ලයිකා (Lyca) සමාගමේ නිර්මාතෘ අල්ලිරාජා සුභාෂ්කරන්ගේ මූලිකත්වයෙන් මෙරට තුළ දේශපාලන පක්ෂයක් පිහිටුවමින් දේශපාලනයට පිවිසීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

එළැඹෙන මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම නව පක්ෂය පිහිටුවීම සැලසුම වී තිබේ. එහිදී උතුර සහ නැගෙනහිර පළාත් සහ මධ්‍යම පළාතේ දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද අපේක්ෂාවෙන් මෙම පක්ෂය ආරම්භ කිරීම සැලසුම වී තිබේ.

මාධ්‍ය වාර්තා අනුව ‘Arunalu People’s Alliance’ නම් පක්ෂයක් ඔහු විසින් මේ සඳහා සම්බන්ධ කර ගෙන ඇතැයිද සඳහන් වෙයි.

එසේම ලයිකා නව දේශපාලන පක්ෂය දෙමළ පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී තරග කළ ආරියනේත්‍රන්ගේ පක්ෂයට සම්බන්ධ ‘හක්ගෙඩිය’ සළකුණින් හෝ ආනන්දසංගරීට අයත් තමිලර් විදුතලෙයි කූටනි (TVK) ලකුණ සමඟ ඉදිරියේදී කටයුතු කරනු ඇතැයිද, නව පක්ෂයට නායකත්වය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් තෝරාගනු ඇතැයිද අනාවැකි පළවේ.

පසුගිය සති කිහිපයේදී අල්ලිරාජා සුභාෂ්කරන් ප්‍රමුඛ ලයිකා මොබයිල් සමාගමේ ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් මෙම පක්ෂයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරී තිබේ.

එසේම නව පක්ෂය සඳහා මෙරට දේශපාලනයේ ප්‍රධාන චරිත රැසක්ම සම්බන්ධ කරගැනීමටද ලයිකා සමාගම පියවර ගෙන ඇත.

මේ අතර ලයිකා සමූහයට අයත් ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයේ නවතම පුවත්පත ලෙස ‘ඔරුවන්‘ දෙමළ පුවත්පතද අද (05දා) වෙළෙඳ පොළට නිකුත් විය.

ලයිකා සමූහයේ සභාපති අල්ලිරාජා සුභාෂ්කරන්ගේ සංකල්පයකට අනුව එළිදක්වා ඇති මෙම නව පුවත්පත ලයිකා “රට වෙනුවෙන් හඬක්” යන තෙමාවෙන් ඉදිරිපත්ව තිබේ.

ඔරුවන් පුවත්පත සමස්ථ ශ්‍රී ලාංකේය දමිළ මුස්ලිම් පාඨකයන්ට අද සිට ඔවුන්ගේ හඬ බවට පත්වනු ඇතැයිද එම පුවත්පත පවසයි.

ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයට අයත් ජනහඬ Publication සමාගම මගින් ප්‍රකාශයට පත් කරන මෙම පුවත්පතට අමතරව මොනරා දිනපතා සහ සතිපතා පුවත්පත්ද එම සමාගමේප්‍රකාශන වෙයි.

Views: 218