Citrus Leisure PLC වෙත කොළඹ නෙළුම් කුළුණේ තවත් මෙහෙයුම් අවස්ථා හිමි වෙයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හෝටල් සමාගමක් වන Citrus Leisure PLC (REEF.N0000) වෙත කොළඹ නෙළුම් කුළුණ තුළ තවත් මෙහෙයුම් අවස්ථා උදාවී ඇතැයි එම සමාගම පවසයි.
ඒ අනුව දැනට එම සමාගම මගින් කොළඹ නෙළුම් කුළුණේ 25 වැනි මහලේ කළමනාකරණය කරන උත්සව ශාලාව සහ 27 වැනි මහලේ ඇති කරකැවෙන ආපනශාලාවට අමතරව 25 වැනි මහලේ පිහිටි උත්සව ශාලාව 1 සහ 28 වැනි මහලේ පිහිටි සුඛෝපභෝගී කාමර හයක් කළමනාකරණය සඳහා වන අවස්ථාව මෙලෙස හිමිව තිබේ.
මේ සම්බන්ධයෙන් Citrus Leisure PLC සමාගම සහ කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම CLTMC (Colombo Lotus Tower Management Company) අතර එකඟතාවට අත්සන් තැබීම පසුගිය ඔක්තෝබර් 02 වැනිදා සිදුව තිබේ.
මෙහිදී කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගමේ ඉල්ලීම අනුව සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම අවස්ථාව හිමිව තිබෙන බව සමාගම පවසයි.
කොළඹ නෙළුම් කුලුණේ කළමනාකරණ මෙහෙයුම් සම්බන්ධයෙන් Citrus Leisure PLC සමාගම සහ කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම අතර පළමු එකඟතාව අත්සන් කෙරුණේ 2023 මැයි 31 වැනිදාය.
ඒ යටතේ ඉහත සඳහන් කළ ආකාරයට කොළඹ නෙළුම් කුළුණේ 25 වැනි මහලේ පිහිටි උත්සව ශාලාව සහ 27 වැනි මහලේ ඇති කරකැවෙන ආපනශාලාව කළමනාකරණය කිරීමට අදාළ එකඟතාව ඇති කර ගෙන තිබුණි.
මෙලෙස ඇති කරගත් කළමනාකරණ එකඟතාවය යටතේ 2023 දෙසැමබර් 12 වැනිදා සිට වසර තුනක කාලයක් මෙම මෙහෙයුම් ක්රියාත්මක කිරීම සඳහා අවස්ථාව ලැබී තිබේ. අලුතින් අත්සන් කෙරුණු එකඟතාව සඳහාද එය අදාළ වෙයි. ඒ අනුව 2026 දෙසැමබර් 11 වැනිදා කල් පිරෙන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.
Views: 196