මීළඟ ණය වාරිකය පිළිබඳව IMF ඉහළ පෙළේ නියෝජිතයන් හා නව රජය අතර සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව මෙරටට පැමිණ සිටින එම අරමුදලේ නියෝජිතයන් සහ නව රජය විසින් IMF සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායම අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස මෙලෙස අද දිවයිනට පැමිණ තිබේ.
විශේෂයෙන්ම IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණ බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදු කරන ලද අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් වු සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්පය ඉහළ නංවමින් වත්මන් රජය යටතේ රට තුළ සිදුවෙමින් පවතින නව ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ප්‍රශංසාව පළ කර ඇති බවත්, ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීම පිළිබඳ තීරණාත්මක පියවරක් මෙහිදී සනිටුහන් කළ බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්, නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් සහ ආර්ථික විද්‍යාඥ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති සහ ආර්ථික කටයුතු සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයන් වන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය සීතා බණ්ඩාර රණතුංග, සුනිල් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා, අමරසේන අතුකෝරළ යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබේ.
Views: 54