සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,000 ආසන්නයට
කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තවදුරටත් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 (S&PSL 20) දර්ශක කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී ASPI ඒකක 11,992.91ක් දක්වා ඉහළ නැග ඇති අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 137.68ක් එනම් 1.16%ක ඉහළ යාමකි. එසේම S&PSL 20 දර්ශකය ඒකක 3,520.92ක් මට්ටමට ළගා වී ඇති අතර එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 67.51ක් එනම් 1.95%ක ඉහළ යාමකි.
එසේම අද දිනය තුළදී කොටස් 133,872,227ක් ගනුදෙනු වී ඇති අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් (3,526,495,886.35ක්) ලෙස සටහන්ව තිබේ.
මේ අතර අද දිනය තුළදී සමාගම් 117ක කොටස් මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, සමාගම් 61ක කොටස් මිල ගණන් පහළ බැස තිබේ.
අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය වෙත ධනාත්මක දායකත්වයක් ලබාදුන් සමාගම් වූයේ හැටන් නැෂනල් බැංකුව, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, කොමර්ෂල් බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව සහ සම්පත් බැංකුවයි. එසේම ලයන් බෘවරීස් සමාගම, කාර්ගිලිස් සිලෝන් පීඑල්සී, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, නේෂන් ලංකා ෆිනෑන්ස් සහ ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්රොටර්ටීස් යන සමාගම් ඍණ දායකත්වයක් ලබා දි තිබේ.
මේ වසරේ අප්‍රේල් 10 වැනිදාද සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,000 සීමාව ඉක්මවීමට සමත් විය.
Views: 53