සැප්තැම්බර් මාසයේදී කොළඹ උද්ධමනය ඍණ වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතු පිට උද්ධමනය 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ඍණ 0.5ක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2015 සැප්තැම්බර් මාසයට පසුව උද්ධමනය ඍණ අගයක් (අවධමනයක්) පෙන්නුම් කළ පළමු අවස්ථාව මෙය බවත් මහ බැංකුව සඳහන් කරයි.

මෙහිදී ආහාර කාණ්ඩය යටතේ 2024 අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 0.8ක උද්ධමනය හා සසඳන විට 2024 සැප්තැම්බර් මාසයේදී සියයට 0.3 අවධමනයක් වාර්තා වී තිබේ.

එසේම ආහාර නොවන කාණ්ඩය යටතේ 2024 අගෝස්තු මාසයේදී වාර්තා කළ සියයට 0.4ක උද්ධමනය හා සසඳහන විය 2024 සැප්තැම්බර් මාසයේදී සියයට 0.5ක අවධමනයක් වාර්තා කර තිබේ.

විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට -0.17ක මිල පහළ යෑම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.06ක මිල ඉහළ යෑමේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් මෙලෙස උද්ධමනය ඍණ අගයක් ගෙන තිබේ.

මේ අතර පරිපාලිත මිල ගණන් වෙනස් කිරීම් සහ සැපයුම් අවහිරතා ලිහිල් වීම හේතුවෙන් ඉදිරි මාසවලදීද මතුපිට උද්ධමනය ඉලක්කගත මට්ටම වන සියයට 5කට වඩා සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව පවසයි.

එසේම මෙම අවධමන තත්ත්වයද මාස කිහිපයක් පැවතිය හැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.
එසේ වුවද මැදිකාලීනව, සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, උද්ධමනය ක්‍රමයෙන් ඉලක්කගත මට්ටමට ළගා වී එයට ආසන්න අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව පවසා සිටියි.

Views: 45