ධම්මික පෙරේරා යළිත් Hayleys PLC අධ්‍යක්ෂ මණ්ඩලයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නැවතත් Hayleys PLC සමාගමේ සම සභාපති සහ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස අද දින (ඔක්. 1 වැනිදා) සිට පත් කර ඇතැයි වාර්තා වෙයි.

එම සමාගම මගින් ඊයේ (සැප්.30) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙම පත්වීම සිදු කරන අවස්ථාව වනවිට ධම්මික පෙරේරා මහතා සතුව හේලීස් සමූහයෙහි කොටස් 382,596,970ක් පවතින බවත් එය 51.01%ක ප්‍රතිශතයක් ගන්නා බවත් සමාගම පවසයි.

2022 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම හේතුවෙන් ඒ මහතා සම සභාපතිත්වය දැරූ Hayleys සමාගමේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින්ම ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවීයාමත් සමගින්ම නැවතත් ඒ මහතා මෙලෙස හේලීස් සමූහය වෙතපැමිණ තිබෙන බව වාර්තා පවසයි.

2022 ජූනි 22 වැනි දින පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමත් සමග ධම්මිකගේ දේශපාලන ආගමනය සිදු විණි.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව ඔහු විසින් සම්පූර්ණ කරන ලදී.

ඉන්පසු ඔහුව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා ලෙස පත් කරන ලදී.

නමුත් දින 16ක් වැනි ඉතා කෙටි කාලයක් අමාත්‍යධුරය දැරීමෙන් පසු එවකට රටේ පැවති දේශපාලන තත්වය යටතේ සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට ධම්මික පෙරේරා මහතා කටයුතු කළේය.

ඉන් පසු 2024 ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ධම්මිකව ඉදිරිපත් කිරීමට එම පක්ෂය සූදානම් වුවද, අවසාන මොහෙතේ පෞද්ගලික හේතු මත ඔහු එම තරගයෙන් ඉවත් විය.

Views: 123