අමානා බැංකුවෙන් කොටසකට රු. 1.20 බැගින් රු.බි. 6.6ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අමානා බැංකුව (ABL.N0000) මගින් සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.20ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2024 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 29 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ඔක්තෝබර් 09 නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සමාගම පවසයි.

2023 දෙසැම්බර් 31 වැනිදා වන විට අමානා බැංකුව නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව කොටස් 5,511,257,461 කි. ඒ අනුව මෙම ලාභාංශ නිකුතුව හරහා සිදු කරන සමස්ත ගෙවීම රුපියල් බිලියන 6.6ක් (6,613,508,953.2ක්) ලෙස සටහන්ව තිබේ.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භවී පළමු පැයට ආසන්න කාලසීමාවේදී අමානා බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 23.30ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ පැවැති රුපියල් 22.50 හා සැසඳීමේදී ශත 80ක එනම් 3.56%ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට අමානා බැංකුවෙහි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 1,372,772,458ක් එනම් 24.91%ක් ඉස්ලාමික සංවර්ධන බැංකු සමූහයෙහි කොටසක් වන IB Growth Fund (Labuan) සමාගමට හිමිය. එසේම කොටස් 580,453,472ක් එනම් 10.53%ක ප්‍රතිශතයක් සෙලාන් බැංකුව / සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් වෙත හිමිය. එසේම මොහොමඩි හාජි ඕමාර් මහතා වෙත කොටස් 494,322,862ක් එනම් 8.97ක් හිමිය.

Views: 57