මැදපෙරදිග ගැටුම් සමගින් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අද පෙරවරුව වන විට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා පවසයි. ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙත එල්ල කරන ප්‍රහාර සහ ඊයේ දිනයේදී යේමනයේ හොයුති සටන්කරුවන් වෙතත් ප්‍රහාර ආරම්භ කිරීමත් සමගින් මෙම තත්ත්වය හට ගෙන තිබේ.

ඒ අනුව අද පෙරවරුව වන විට වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.52ක් දක්වා 1.26%කින්ද, බ්‍රෙන්ට් (BRENT) බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.27ක් දක්වා 0.94%ක් දක්වා ඉහළ නැග ඇතැයි oilprice.com වෙබ් අඩවිය සඳහන් කරයි.

විශේෂයෙන්ම මැදපෙරදිග ව්‍යාප්ත වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමගින්ම සැපයුම් වෙත සහ නෞකා මාර්ග වෙත එල්ල විය හැකි බාධා හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව විශේෂඥයන් පවසයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පසුගිය සිකුරාදා දිනයේදී ලෙබනනයේ හිස්බුල්ලා නායක හසන් නසරල්ලා ජීවිතක්ෂයට පත් වූ අතර, පසුව එල්ල කළ ප්‍රහාරවලින් එහි නායකයෝ 20 දෙනෙකු ඝාතනය වී ඇතැයි පැවසුණි. එසේම ඊයේ දිනයේදී යේමනයේ හොයුති සටන්කරුවන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්ද එල්ල කළේය. මෙම හොයුති සටන්කරුවන්ද ආසන්න දින කිහිපයේදී ඊශ්‍රායලය වෙත සිය ප්‍රහාර වැඩි කර තිබේ.

මේ අතර පසුගිය ආසන්න කාලසීමාවේදී චීනයේ බොරතෙල් ඉල්ලුම මන්දගාමීවීමත් සමගින්ම මිල ගණන් කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් නොකළ බවත් වාර්තා පවසයි.

Views: 56