ආදායම් බදු ගෙවීමේ අවසන් දිනය අද – නොගෙව්වොත් දඩ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පසුගියදා නිකුත් කළ නිවේදනයකට අනුව ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද ( සැප්තැම්බර් 30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතුව තිබේ.

ඒ අනුව යම් තැනැත්තෙක් එම ගෙවීම් පැහැර හරින්නේ නම් හෝ ප්‍රමාද වීම් සිදු කරන්නේ නම් නීති ප්‍රකාරව දණ්ඩනයකට හා පොලියකට යටත් කිරීමක් සිදුකරන බවද අදාළ නිවේදනයේ සඳහන්ව තිබේ.

මේ අතර, කිසියම් තැනැත්තෙකු විසින් ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු පවතින්නේ නම් ඒ සියල්ල ද ඔක්තොබර් මස 30වන දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතුව ඇතැයිද දෙපාර්තමේන්තුව පවසයි.

යම් තැනැත්තෙක් එලෙස නොකරන්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට සහ පොලියකට යටත් කරන බවත් මෙම දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදුනොකරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1944 දුරකතන අංකය ඔස්සේ අවස්ථාව සලසා ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Views: 53