අගෝස්තු මාසයේදී අපනයන ආදායමේ 4.8%ක වර්ධනයක්
2024 වසරේ අගෝස්තු මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන 1,165.4 ක් වූ අතර එය 2023 අගෝස්තු මාසයේදී වාර්තා කළ රුපියල් මිලියන 1,118.60ක කාර්යසාධනය හා සැසදීමේදී 4.18% ක වර්ධනයක් වාර්තා කර ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව එම මණ්ඩලය මෙම දත්ත වාර්තා ඉදිරිපත් කර සිටියි.
මෙම අපනයන කාර්ය සාධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්රිත නිෂ්පාදන, පොල් ආශ්රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ සාන්ද්‍රිත අපනයනය ඉපැයීම් ඉහළ යාම ලෙස සටහන්ව තිබේ.
විශේෂයෙන්ම වසර දෙකකට පසුව ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය 2024 අගෝස්තු මාසයේදී
ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එසේම 2024 ජූලි මාසයට සාපේක්ෂව 2024 අගෝස්තු මාසයේ අපනයන කාර්ය සාධනය 3.1% කින් ඉහළ ගොස් ඇතැයිද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ අතර 2024 අගෝස්තු මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 318.77 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 6.49% කින් වැඩි විය.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 අගෝස්තු මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙඅංශයෙන්ම මුළු අපනයනය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 4.67 % කින් ඉහළ ගිය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 1,483.13 ක් ලෙස වාර්තා වී තිබේ.
මේ අතර වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වු මාස අටක කාලය තුලදී මෙරට සමස්ත අපනයන කාර්ය සාධනය ඩොලර් මිලියන 10,686.80ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2023 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 10,098.70 හා සැසඳීමේදී 5.82%ක වර්ධනයකි.
Views: 47