“මෝටර් රථ ආනයනය ගැන මහ බැංකුවේ නිර්දේශ තවමත් එලෙසින්මයි – තීරණය රජය අතේ“ – මහ බැංකු අධිපති

මෝටර් රථ ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැවැති රජය වෙත ලබා දෙන ලද නිර්දේශ එලෙසින්ම පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි.

ඊයේ නිකුත්කෙරුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි 05 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණයට සමගාමීව පැවැත්වුණු මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව පවසා සිටියේය. 

මහ බැංකුව සතු විදේශ මුදල් සංචිත ප්‍රමාණය අනුව මහ බැංකුව මගින් මෙම නිර්දේශ ලබාදී තිබූ අතර, ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේ සිට අදියර තුනක් යටතේ මෝටර් රථ ආනයනය සඳහා අවසරය ලබාදීමට පැවැති රජයේ කැබිනට් මණ්ඩලය මගින් අනුමැතිය ලබා දී තිබුණි.

එහිදී වාණිජ  මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි මාසයේදී පමණ ආරම්භ කළ හැකි බවද මුදල් රාජ්‍ය අමාත්‍යාංශය මැතිවරණයට පෙරාතුව නිවේදනය කළේය.

“ඔක්තොම්බර් මස 01 වෙනිදා සිට පොදු මගී ප්‍රවාහන වාහන තහනම ඉවත් කිරීමටත් , දෙසැම්බර් මස 01 වෙනිදා සිට පොදු භාන්ඩ ප්‍රවාහන වාහන වල ආනයන සීමා ඉවත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පෙබරවාරි මස 01 වෙනදා සිට අනෙකුත් සියළුම වාහන වල ආනයන සීමාවන් ඉවත් කිරීමට නියමිතයි.“ යනුවෙන් එම නිවේදනයේ සඳහන්ව තිබුණි.

මේ පිළිබඳව අදහස් දක්වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “රට තුළ පවතින විදේශ මුදල් සංචිතය අනුව මහ බැංකුව රජයට මෙම නිර්දේශ ඉදිරිපත් කළා. එම නිර්දේශ තවදුරටත් එලෙසින්ම පවතිනවා. මෝටර් රථ ආනයනය පිළිබඳව තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශයයි.“ යනුවෙන් මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර ඊයේ නිකුත්කෙරුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි 05 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව අගෝස්තු මාසය අවසන් වනවිට මෙරට පවතින විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 6ක් බවට පත්ව තිබේ.

Views: 103