මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත එලෙසින්ම පවත්වාගෙන යයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමෙන්ම පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ රැස්වුණු මහ බැංකු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මගින් මෙම තීරණය ගෙන තිබේ. අද පෙරවරුවේදී 2024 වසර සඳහා වන පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය එළිදක්වමින් මහ බැංකුව මේ බව පවසා සිටියේය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) දැනට පවතින සියයට 8.25 මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින සියයට 9.25 ක මට්ටමේ තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව සඳහන් කර සිටියි.

වර්තමානයේ පවතින සහ අපේක්ෂිත සාර්වආර්ථික වර්ධනයන් සහ දේශීය සහ ජාත්‍යන්තරව ඇති විය හැකි අස්ථාවරත්වයන් නිසා මතු විය හැකි අවදානම් පිළිබඳව සලකා බලමින් මෙම තීරණය ගත් බව මහ බැංකුව පවසයි.

එසේම උද්ධමනයත් ඉදිරි කාර්තු කිහිපයේදී 5%ක මට්ටමේ පවත්වාගෙන යාමටද බලාපොරොත්තු වන බවත් මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන පැවැත්වෙන 2024 වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති දැනුම්දීමේ මාධ්‍ය හමුව අද පෙරවරු 11.30ට මහ බැංකුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Views: 44