“ජනපති දුන් පොහොර සහ භූමිතෙල් සහනාධාරයට තීරණය ගත්තේ අගෝස්තුවේ“ – හිටපු බලශක්ති ඇමති කංචන විජේසේකර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලද ගොවීන් සහ ධීවරයන් සඳහා සහනාධාර ලබාදීමේ තීරණය, සැබෑ ලෙසම ඉදිරිපත් වූයේ පසුගිය අගෝස්තු මාසයේදී බව හිටපු විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද පෙරවරුවේදී සිය X ගිණූමේ (ට්විටර්) සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. ඒ අනුව මෙතෙක් පැවැති පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,0000ක් දක්වා වැඩි කිරීමේ තීරණය සහ ධීවරයන් සඳහා භූමිතෙල් සහනාධාරයක් ලබාදීමේ තීරණය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරවූවක් බවත්, මහාභාණ්ඩාගාරය හරහා එම මුදල් වෙන් කිරිමට නියමිතව තිබූ බවත් අමාත්‍යවරයා පවසයි.

එහෙත් ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් මැතිවරණ කොමිසම මගින් එම යෝජනා ක්‍රියාත්මක කිරිම අත්හිටුවා තිබූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඉන්දියානු ණය වැඩසටහන යටතේ මෙරට ආගමික ස්ථානවල වහලය මත සූර්ය පැනල පද්ධති ස්ථාපිත කිරීම යටතේ 2024 මාර්තු මාසයේදී ප්‍රසම්පාදනය කළ සූර්ය පැනලද පසුගිය ජූලි මාසයේදී මෙරටට ලැබී ඇතැයිද අමාත්‍යවරයා මතක් කර දී තිබේ.

කෙසේ වෙතත් අගෝස්තු මාසයේදී ක්‍රියාත්මක කිරිමට තිබූ මෙම වැඩසටහන් සියල්ලම මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Views: 95