‘ශ්‍රීලංකන්‘ දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයීමට

නේපාලයේ කත්මණ්ඩු නුවර දී 2024 සැප්තැම්බර් 20 දින පැවැත්වුණු South Asian Travel Awards (SATA) හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී තිබේ.

කලාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙල ලෙස සැලකෙන SATA සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරෙන අතර, එහිදී අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ඡන්ද අනුව දකුණු ආසියාවේ සත්කාරක හා සංචාරක ක්ෂේත්‍රවල සමාගම් ඇගයීමට ලක්කෙරේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ දැක්ම වන්නේ, රටට සුවිශේෂී වූ උණුසුම් ආගන්තුක සත්කාරයෙන් අනූන ශ්‍රී ලාංකික අත්දැකීම මගීන්ට ලබා දීමයි. Airline Passenger Experience Association (APEX) සම්මාන උළෙලේදී Major Airline කාණ්ඩයේ අඛණ්ඩ තරු හතරේ ශ්‍රේණිගත කිරීම ඇතුළුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලබා ගෙන ඇති සෑම සම්මානයකින්ම මෙම දැක්ම පිළිබිඹු වේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියානු කලාපය තුළ ක්‍රියාත්මක කරන ගුවන් ගමන් මගින් ඉන්දියාවේ චෙන්නායි, මුම්බායි, බැංගලෝර් හා දිල්ලි, පාකිස්ථානයේ කරච්චි හා ලාහෝර්, නේපාලයේ කත්මන්ඩු සහ බංග්ලාදේශයේ ඩකා වැනි ප්‍රධාන නගර රැසක් ආවරණය වේ. ඒ අනුව දකුණු ආසියානු කාලපයේ පමණක්, ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ඉන්දියාව, පාකිස්ථානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය හරහා ප්‍රධාන නගර අතර සෑම සතියකම ගුවන් ගමන් 130 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි.

Views: 39