2024 පළමු අර්ධයේදී සියපත ෆිනෑන්ස් බදු පසු ලාභයේ 189%ක වැඩිවීමක්

සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2024 ජූනි 30 දිනෙන් අවසන් වූ පළමු අර්ධය සඳහා ස්ථාවර මූල්‍ය වර්ධනයක් වාර්තා කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම රුපියල් මිලියන 512. 64 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 189%ක වැඩිවීමකි.

එමෙන්ම, බදු පෙර ලාභය (PBT) පෙර වසරේ අදාල කාලපරිච්ඡේදයට සාපේක්ෂව 133%කින් වර්ධනය වී රුපියල් මිලියන 1215. 02 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම කාලසීමාව තුළ, ශුද්ධ පොලී ආදායම (NII) සැලකිය යුතු ලෙස 70.0% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,078. 00 ක් දක්වා ළඟා වූ අතර, පසුගිය වසරේ වාර්තා වූ රුපියල් මිලියන 1, 222. 67 ට සාපේක්ෂව මෙය ඉහළ අගයකි. මෙම ඉහළ යාම මූලික වශයෙන් 2024 ජූනි 30 වන විට පොලී වියදම් සැලකිය යුතු ලෙස අඩු වීම හේතුවෙන් සිදුව ඇත.

වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (ROA) සහ සහ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය (ROE) පිළිවෙලින් 4.35% සහ 13.29% ලෙස වාර්තා කළ සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ආදායම මත පිරිවැය අනුපාතය 55.59% ක් ලෙස පවත්වා ගනිමින්, පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව 13.93% ක වැඩිවීමක් වාර්තා කරන ලදී.

මෙම විමසීමට ලක් කළ කාලසීමාව ඇතුලත ශ්‍රී ලංකාවේ සිදුවූ සමාජ – ආර්ථික විපර්යාසයන් හමුවේ ඉතාමත්ම තෘප්තිමත් විය හැකි තරමේ මූල්‍ය ස්ථාවරත්වයක් පෙන්නුම් කිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී සමත්ව ඇත. එම මූල්‍ය ස්ථාවරත්වය පළමු වන ස්ථරයේදී (Tier 1) සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත (CAR) මගින් පිළිබිඹු වූ අතර, ඒවා පිළිවෙලින් 16.43% සහ 19.42% ක් වූ අතර, ව්‍යවස්ථාපිත අවම අනුපාත වන 8.50% සහ 12.50% ඉක්මවා ගොස් ඇත.

වත්කම් ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගත් කල, විමසීමට ලක් කළ කාලපරිච්ඡේදය තුළ මුළු වත්කම් රු.බිලියන 56. 18 ක් ලෙස වාර්තා වූ අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අදාල කාලපරිච්ඡේදයේදී එය රුපියල් බිලියන 47. 35 ක් විය. තවද පෙර වර්ෂයේ පළමු අර්ධය සමග සැසඳීමේදී අක්‍රීය ණය අනුපාතය 7. 74% කින් අඩුවීම තුළ ආයතනයේ ණය කළඹෙහි සිදුවී ඇති ගුණාත්මක වර්ධනය පෙන්නුම් කරයි.

Views: 98