මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන යළිත් පත් කෙරේ

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන මහතා යළි පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී පත් කෙරුණු නව අමාත්‍යාංශ ලේකම්වරුන් 15 දෙනා අතරින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස තවදුරටත් මහින්ද සිරිවර්ධන මහතා රඳවා තබා ගැනීමට නව ජනාධිපතිවරාය කටයුතු යොදා තිබේ.

මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ අරුණි විජේවර්ධන මහත්මියත් එම ධුරයේම රඳවා තබා ගැනීම සිදු කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වසර 33ක අත්දැකීමක් සහිත මහින්ද සිරිවර්ධන මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කෙරුණේ 2022 වසරේ අප්‍රේල් 08 වැනිදා එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුවය. මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් කිරිමට සමගාමීව මෙම පත් කිරීමත් සිදු විය.

අනතුරුව 2024 අප්‍රේල් 28 වැනිදා මහින්ද සිරිවර්ධන මහතා වෙත මුදල්, ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස තවත් සේවා දිගුවක් ලබාදීමට එවකට ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරන ලදි. ඒ අනුව වසරක කාලයක් සඳහා මෙම සේවා දිගුව ලබා දී තිබුණි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින ආසන්නතම විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ එකඟාවයේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉදිරිපත් වූ නිලධාරීන් අතර මහින්ද සිරිවර්ධන මහතා ඉදිරියෙන් සිටියි. එසේම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය හිමි රාජ්‍යයන් සහ සංවිධාන සමගින් පැවැති සාකච්ඡාවන්හිදීද මහින්ද සිරිවර්ධන මහතා අතින් සුවිශාල මෙහෙයක් සිදු විය.

Views: 126