කොළඹ කොටස් හුවමාරුවෙහි රුපියල් බිලියන 4කට ආසන්න පිරිවැටුමක්

කොළඹ කොටස් හුවමාරුව පිට පිට තෙවැනි දිනටත් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් එහි දර්ශක දෙකම අද (25) දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදු විය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,699.84ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 365.72ක එනම් 3.23%ක ඉහළ යාමකි.

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL 20) දර්ශකය අද දිනයේදී ඒකක 3,383.76ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 148.54ක් එනම් 4.59%ක ඉහළ යාමකි.
මේ අතර අද දිනය තුළදී කොටස් 150,906,104ක් ගනුදෙනු වී ඇති අතර, සමස්ත ගනුදෙනුවල පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් (3,963,477,462.15ක්) ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවෙහි ඉතිහාසය තුළ රුපියල් බිලියන 3ක පිරිවැටුමක් වාර්තා කළ තවත් අවස්ථාවක් ලෙසත් මෙය සැලකෙයි.

ආසන්න කාලසීමාව ගත් විට 2024 මාර්තු 20 වැනිදා එය බිලියන 4ක් ඉක්මවීමට සමත් විය. එසේම 2020 මැයි 12 වැනිදා රුපියල් බිලියන 3 ඉක්ම වූ පිරිවැටුමක් වාර්තා කිරීමට කොළඹ කොටස් හුවමාරුව සමත් විය.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවාමරුවෙහි ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 2කට අධික පිරිවැටුමක් වාර්තා විය.

Views: 91