ආයෝජන අමාත්‍යධුරයත් නව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය වෙත

ශ්‍රී ලාංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නාය.

ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරියයි. මීට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා කුමාරතුංග මෙරට කාන්තා අගමැතිවරියන් ලෙස පත් වූහ.

අගමැති ධුරයට අමතරව ආචාර්ය හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන ඇමතිවරිය ලෙසද අද දින දිවරුම් දී ඇත.

1970 මාර්තු 6 වන දින උපන් හරිනි අමරසූරිය ශ්‍රී ලාංකික විද්වතෙකු, අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක සහ දේශපාලනඥවරියක ලෙස කටයුතු කර තිබේ.

ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද සේවය කර තිබේ.

ඇය දැනට ශ්‍රී ලංකාවේ දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් වන නෙස්ට් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරයි.

ජාතික ජනබල වේගයේ සාමාජිකාවක් වන ආචාර්ය හරිනි අමරසූරිය 2020 සිට ජාතික ජනබල වේගය වෙනුවෙන් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කර ඇත.

Views: 98