අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ඉහළ යාමක්
අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව ඇතැයි වාර්තා පවසයි. විශේෂයෙන්ම 2024 ජනාධිපතිවරණ ප්රතිඵලයෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වූ පළමු දිනය අද දිනයයි.
ඒ අනුව අද දිනය සඳහා ගනුදෙනු ආරම්භ වී පැය දෙකකට ආසන්න වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 11,080.14ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 113.63ක එනම් 1.04% ක ඉහළ යාමකි.
එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්රී ලංකා 20 (S&PSL 20) දර්ශකය ඒකක 3,156.76ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 54.56ක එනම් 1.76%ක ඉහළ යාමකි.
මෙහිදී මේ දක්වා සමාගම් 113ක කොටස් මිල ඉහළ යාම සිදුව ඇති අතර, සමාගම් 45ක වටිනාකම් පහළ යෑම සිදුව තිබේ. ඒ අතරින් සියලු කොටස් මිල දර්ශකය සඳහා ඉහළම දායකත්වයක් ලබාදුන් සමාගම් වන්නේ සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් සහ බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී යන සමාගම්ය.
මේ අතර අද දිනයේ පළමු පැය දෙක තුළදී කොටස් 31,512,972ක් ගනුදෙනු වී ඇති අතර, එහි සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 586ක් (589,260,760.65ක්) ලෙස සටහන්ව තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර පසුගිය සතියේදී කොළඹ කොටස් හුවමාරුව දින කිහිපයක්ම පහත වැටීමට ලක් විය.
ශ්රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා ලෙස ජාතික ජනබලවේගය පක්ෂයේ අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරු 09.00ට දිවුරුම් දීම සිදු කළේය.
Views: 152