Evolution Auto, Ather Energy හවුල්කාරීත්වයෙන් Ather’s 450 Series ඉලෙක්ට්‍රික් ස්කූටර් මෙරටට

ඉන්දියාවේ ප්‍රධානතම ඉලෙක්ට්‍රික් ස්කූටර් නිෂ්පාදන සමාගමක් වන Ather Energy සහ ශ්‍රී ලංකාවේ Evolution Auto අතර ගොඩනගාගත් ව්‍යපාරික සහයෝගීතාවය මත වඩාත් පරිසර හිතකාමී වියදම් අවම ගමනාගමන විසඳුම ලෙස Ather’s 450 Series ඉලෙක්ට්‍රික් ස්කූටරය මෙරට වෙළෙඳ පොළ වෙත හඳුන්වා දෙන බව පවසයි.

ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් වන සෙන්සේ කැපිටල් පාට්නර්ස්, සිනෝ ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ්, සහ ඇට්මන් ගෲප්, එකමුතුවෙන් හා ව්‍යාපාරික ශක්තියෙන් Evolution Auto ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබේ.

නවීන තාක්‍ෂණය හා ක්‍රියාකාරීත්වය කාලයේ තාලයට ගැළපෙන ආකර්ෂණීය පෙනුම, නවීන උපාංග හා සෙසු සියලු විශේෂාංග මෙම Ather 450 Series ස්කූටර් මාදිලිය සතු වේ. විනාඩි 60 ක රැපිඩ් චාර්ජ් වාරයකින් බැටරිය 80%ක් ආරෝපනය වන අතර ස්කූටරය පැයට කිලෝමීටර් 90 ක උපරිම වේගයකින් ධාවනය කළ හැක.

මෙම Ather 450 Series මාදිලියේ ඇතුළත් අනෙකුත් විශේෂාංග ලෙස අධිබලැති මෝටරය, රැපිඩ් ඇක්සලරේෂන් හැකියාව, ඉන්ටෙලිජන්ට් ඩෑෂ් බෝඩ්, රියල් ටයිම් ඩයග්නොස්ටික් හා නැවිගේෂන් පහසුකම, සීට් එක යට අමතර වැඩි ඉඩ පහසුව, රිජෙනරේටිව් බ්රේක් ආදිය කැපී පෙනේ.

මෙම නව ව්‍යාපාරික සුසංයෝගය හා එමගින් අප රටට අත්පත් කරගත හැකි ජයග්‍රහන ගැන අදහස් දක්මින් Evolution Auto හි සාමාන්‍යාධිකාරී, සහරාන් සියාවුදීන් මහතා කියා සිටියේ Ather සන්නාමයේ දේශීය නියෝජිතයා වෙමින් ලොව ප්‍රකට ඉලෙක්ට්‍රික් ස්කූටර් සන්නාමයක මෙරට නියෝජිතයා වීම Evolution Auto ලැබූ භාග්‍යයක් වන බවයි.

පරිසර හිතකාමී අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යයක් අගයන මෙරට සහෘද හිතවතුන්ට රටේ මංමාවත් වලට ගැලපෙන හැඩ වැඩි වැඩට සරිලන ස්මාට් ප්‍රවාහන විසඳුමක් සැපයීමේ වගකීමේ හවුල්කරුවෙක් වීම සතුටට කරුණක් වන අතරම, දේශීය මෝටර් වාහන වෙළඳ පොළ තුළ නැවුම් වෙනසක් හා තිරසාරකත්වයේ අද්විතීය පෙරළියක් ඇති කිරීමට මෙම නවතම හඳුන්වාදීම ඉවහල් වනු ඇතිබවට ඒ මහතා විශ්වාසය පලකලේය.

Ather Energy හා Evolution Auto අත්වැල් බැඳගැනීමත් ඒ හරහා මෙරට වෙළඳපොළට ඉදිරිපත් වන Ather 450 series පිළිබඳවත් අදහස් දක්වමින් Ather Energy හි ප්‍රධාන විකිණුම් නිලධාරී රව්නීත් සිං පෝකෙලා මහතා‍, “ ඉන්දියාවේ ප්‍රධානතම ඉලෙක්ට්‍රික් ස්කූටර් නිපදවන්නා වන Ather Energy සමාගම ශ්‍රී ලංකාවේ Evolution Auto සමඟ අත්වැල් බැඳගැනීම අපේ විශාල ජයග්‍රහණයක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ රථවාහන වෙළඳපොළ නව මානයකට යොමු කරන ඉලෙක්ට්‍රික් ස්කූටර් අත්දැකීම මෙරට ස්කූටර් ලෝලීන්ට විවර වෙනවා. නවීන තාක්‍ෂණය, අද්විතීය ක්‍රියාකාරීත්වය, වැඩි ඉතිරිය ආදියෙන් ඔබ වඩාත් තෘප්තිමත් වනු ඇත.“ යනුවෙන් පැවසීය.

Views: 56