සියඹලාණ්ඩුව රිවිදනවි ව්‍යාපෘතියේ 50%ක හිමිකාරීත්වය වින්ඩ්ෆෝර්ස් පීඑල්සී වෙත

සියඹලාණ්ඩුව ප්‍රදේශහේ පිහිටුවන මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රිවිදනවි (පෞද්) සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 50%ක් හිමි කරගැනීමට කටයුතු කළ බව වින්ඩ්ෆෝර්ස් පීඑල්සී (WIND.N0000) සමාගම පවසයි.

අද (19දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් යවමින් එම සමාගම මේ බව සඳහන් කර සිටියි.  රිවිදනවි සමාගම තුළ පවතින කොටස් හිමිකාරීත්වය පැහැදිලි කරන ලෙස කොළඹ කොටස් හුවමාරුව පසුගිය සැප්තැම්බර් 13 වැනිදා සිදු කළ දැනුම්දීමට අනුව මෙම පියවර ගෙන තිබේ.

එ අනුව මෙතෙක් රිවිදනවි ව්‍යාපෘතිය තුළ පැවැති 30%ක කොටස් හිමිකාරීත්වය පසුගිය සැප්තැම්බර් 11 වැනිදා සිට 50%ක් දක්වා ඉහළ ගිය බව එම සමාගම මෙහිදී අනාවරණය කර තිබේ.

රිවිදනවි (පෞද්ගලික) සමාගමේ නිෂ්ඡන්ද කොටස් දෙකක හිමිකාරීත්වයක් පැවැති Blue Circle Pte Ltd සමාගම එම කොටස් වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම වෙත පැවරීමත් සමගින්ම මෙම කොටස් හිමිකාරීත්වය ඉහළ යාම සිදුව තිබේ.

මෙම කොටස් අත්පත්කරගැනිමත් සමගින්ම Blue Circle Pte Ltd සමාගම රිවිදනවි ව්‍යාපෘතියෙන් ඉවත්ව ඇති බවත්, ඒ අනුව සමාගමෙහි 50%ක් බැගින් වූ කොටස් හිමිකාරීත්වය ඇති සමාගම් දෙක වන්නේ වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම සහ ලක්දනවි ලිමිටඩ් සමාගම පමණක් බවත් වින්ඩ්ෆෝර්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර ලංකාවේ විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙස පසුගිය සැප්තැම්බර් 13 වැනිදා විවෘත වීමට නියමිතව තිබූ LTL Holdings Limited සමාගමේ නිකුතුව විවෘත නොකිරීමට හේතුව වූයේද මෙම රිවිදනවි ව්‍යාපෘතිය පිළිබඳව පැවති ගැටලුවකි.

එහිදී මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා රුපියල් බිලියන 20කින් රුපියල් බිලියන 6ක් මෙම රිවිදනවි ව්‍යාපෘතිය වෙත යොදවන බව LTL Holdings Limited සමාගම සිය සංස්ථා ප්‍රකාශනය තුළ සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් අදාළ නිකුතුව කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කිරීමට නම්  LTL Holdings Limited සමාගමෙහි පරිපාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක කරන සීමාසහිත රිවිදනවි (පෞද්) සමාගම හා සම්බන්ධ තවදුරටත් තොරතුරු ලබාදීමක් සිදු කළ යුතු බව කොළඹ කොටස් හුවමාරුව මගින් දැනුම්දීම මෙම නිකුතුව කල් දැමීමට හේතුව විය.

රිවිදනවි (පෞද්ගලික) සමාගමෙහි 50%ක කොටස් හිමිකාරීත්වයක් සහිත ලක්දනවි පෞද්ගලික සමාගම LTL Holdings Limited සමාගමෙහි පරිපාලිත සමාගමකි.

Views: 105