ඩො.බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගකරණයට ශ්‍රී ලංකාව සහ ණයහිමිකරුවන් දළ එකඟතාවකට

ශ්‍රී ලංකා රජය ඩොලර් බිලියන 12.5ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එම ණයහිමිකරුවන් සමගින් දළ එකඟතාවකට පිවිසීමට කටයුතු යොදා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් අදාළ බැඳුම්කරහිමිකරුවන් සමගින් පසුගිය සතියේදී පැවැත්වුණු තෙවැනි වටයේ සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස මෙම එකඟතාවට පිවිසීම සිදුව තිබේ.

වාර්තා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා රජය සහ මෙම බැඳුම්කරහිමියන් අතර පසුගිය ජූලි මාසයේදී ඇති වූ දළ එකඟතාවයේ කොටස් කිහිපයක් වෙත නැවත එකඟතාවකට පත්වෙමින් මෙම නව දළ එකඟතාවට පිවිසීම සිදුව තිබේ.

ශ්‍රී ලංකාව 2022 වසරේ මැද භාගයේදී පත්වූ විදේශ විනිමය සංචිතයේ හිඟතාවත් සමගින්ම එම වසරේ මැයි මාසයේදී සිය විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට තීරණය කළේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට දින දෙකකට පෙරාතුව ශ්‍රී ලංකා රජය පිවිසි මෙම දළ එකඟතා පියවර වැදගත් අවස්ථාවක් ලෙසද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Views: 89