සෙලින්කෝ ලයිෆ් සමාගම DFCC හරිත බැඳුම්කරයේ රුපියල් බිලියන 2ක ආයෝජනයට සැරසෙයි

DFCC බැංකුව විසින් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කරය (Green Bond) සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 2ක් ආයෝජනය කර එහි ප්‍රධාන ආයෝජකයා බවට පත්වීමට සූදානමින් සිටින බව එම සමාගම පවසයි.

මෙම හරිත බැඳුම්කරය මගින් රුපියල් බිලියන 2.5ක් දක්වා රැස් කිරීමට DFCC බැංකුව අපේක්ෂා කරයි. එම අරමුදල් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ හරිත මූල්‍ය වර්ගීකරණයට අනුකූලව ගොඩබිම සවිකරන, දිය මත පාවෙන සහ වහල මත සවිකරන ආදී සියළු ආකාර වල සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (PV) බලශක්ති උත්පාදන පහසුකම් පිහිටුවීම, අදාල සම්පත් ලබා ගැනීම, පුළුල් කිරීම සහ අඛණ්ඩ කළමනාකරණය සඳහා මුදල් සැපයීමයි.

“ශ්‍රී ලංකාවේ ආයතනික අංශයට ආදර්ශයක් බවට පත් වෙමින්, තිරසාරභාවය වෙනුවෙන් වචන වලට වඩා ක්‍රියාවෙන් කැපවීම වඩා වැදගත් බව පෙන්වීමට, මෙම සන්ධිස්ථානගත පළමු හරිත බැඳුම්කරය විශිෂ්ඨ අවස්ථාවක් ලෙස අපි දකිනවා, හරිත ආයෝජන ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව නව මංපෙත් සාදන්නා ලෙස සෙලින්කෝ ලයිෆ් සඳහා මෙය තාර්කික ආයෝජනයක් ද වෙයි.” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය.

තිරසාර පදනමක් මත දිගු කලක් තිස්සේ මුල් බැසගෙන සිටින සෙලින්කෝ ලයිෆ්, සමාගමේ කාබන් පියසටහන වාර්ෂිකව 5% කින් අඩු කිරීම ඉලක්ක කර ගෙන තිබේ. 2023 දී සෙලින්කෝ ලයිෆ් සිය කාබන් පියසටහන 9.33% කින් අඩු කර ඇත. කඩදාසි භාවිතය සහ බලශක්තිය හා ඉන්ධන පරිභෝජන මට්ටම පිළිබඳ අඛණ්ඩ අවධානය හා අධීක්ෂණය වැනි පුළුල් පරාසයක මුල පිරීම් මගින් ලබා ගත් ප්‍රශංසනීය ජයග්‍රහණය එමගින් පෙන්නුම් කරයි. සමාගම බලංගොඩ රජවක ප්‍රදේශයේ අක්කර 10ක් පුරා පැතිරුණු විනාශ වී ගිය වැසි වනාන්තරයක් පැළ 10,000ක් සිටුවීම මගින් ප්‍රතිරෝපනය කරන අතර අවුරුදු 5ක් යනතුරු එහි නඩත්තු කටයුතු ද සිදු කරනු ලබයි.

මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් සමාගම සතු දේපල වල ඉදිකරන හරිත ගොඩනැගිලි ඇතුලත් කර ගනිමින් පුළුල් වූ හරිතමය ශාඛා ජාලයක් ගොඩනැගීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන, නල ජලය භාවිතය අවම කළ හැකි වැසි ජලය රැස් කිරීමේ පහසුකම් සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ පද්ධති සහිත මෙම ගොඩනැගිලි, ස්වභාවික ආලෝකය ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සඳහා සැලසුම් කර නිර්මාණය කර ඇති අතර නවීනතම බලශක්ති කාර්යක්ෂම ආලෝකකරණය හා වායු සමීකරණ පද්ධති වලින් සමන්විත වේ.

Views: 84