සමූපාකාර රක්ෂණ සමාගම වෙත පැනවූ නියෝගයක් ඉවත් කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමූපාකාර රක්ෂණ සමාගම (Co-Operative Insurance Company PLC) (COOP.N0000) වෙත ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) මගින් පනවා තිබූ නියෝගයක් ඉවත් කිරිමට එම කොමිෂන් සභාව තීරණය කර ඇතැයි පවසයි.

සමූපාකාර රක්ෂණ සමාගමෙහි සභාපතිවරයා විසින් පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මේ බව පවසා තිබේ.

ඒ අනුව 2023 මැයි 11 වැනිදා එම කොමිෂන් සභාව මගින් සමූපාකාර රක්ෂණ සමාගම මගින් අභිමත ගෙවීම්/ආයෝජන හෝ වෙනත් වියදම් නවත්වන ලෙස දැනුම් දී තිබූ නියෝගය මෙලෙස ඉවත් කෙරෙන බව සඳහන් වෙයි.

මේ යටතේ සේවක ප්‍රසාද දීමනා ගෙවීම, සේවක වැටුප් ඉහළ දැමීම, නව දීමනා ගෙවීම, දිරිදීමනා ගෙවීම හෝ සමාගමට අදාළ වෙනත් අත්‍යවශ්‍ය ගෙවීම් හැර අනෙකුත් ගෙවීම් මෙලෙස තහනම් වී තිබුණි.

කෙසේ වෙතත් සමූපාකාර රක්ෂණ සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් මෙම නියෝගය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 2024 අගෝස්තු 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම ඉවත් කෙරෙන බව සඳහන් වෙයි.

මේ අතර එම කොමිෂන් සභාව මගින් ලබාදුන් මෙම නියෝග උල්ලංඝණය කරමින් අදාළ කාලසීමාව තුළදී සිදු කර ඇති ගෙවීම් ආපසු පවරා ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් එය 2024 නොවැම්බර් 28 වැනිදාට හෝ ඊට පෙර සිදුකළ යුතුව ඇතැයිද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දැනුම්දී ඇතැයිද වැඩිදුරටත් සඳහන් වෙයි.

Views: 96