2024 දෙවන කාර්තුවේ දී මෙරට ආර්ථිකයේ 4.7%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වර්ෂයේ දෙවන කාර්තු‌වේ දී සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2024 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර සිටියි.

ඒ අනුව, 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,644,240 ක් ලෙස වාර්තා වී තිබූ අතර එය 2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී රු. මිලියන 2,768,293 ක් දක්වා ඉහළ ගොස් ඇත.

2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිලිවෙලින් සියයට 1.7, සියයට 10.9 ක් සහ සියයට 2.5 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 72