Panasian Power PLC ඉදිකළ තවත් සූර්ය විදුලි බලාගාර 2ක විදුලිය මිලදී ගැනීමේ එකඟතාවට පිවිසෙයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගමක් වන Panasian Power PLC සමාගම ඉදිකළ සූර්ය බලාගාර 2ක විදුලිය මිලදී ගැනීමේ එකඟතාවකට ලංකා විදුලි බල මණ්ඩලය සමගින් පිවිසි බව එම සමාගම පවසයි.
ඒ අනුව Panasian Power PLC සමාගමෙහි පරිපාලිත සමාගමක් වන PAP MHPL Solar (Pvt) සමාගම මගින් කුරුණෑගල ග්‍රිඩ් උප පොළට සම්බන්ධව පිහිටවූ මෙගාවොට් 5ක ධාරිතාවකින් යුත් භූමිය මත ඉදිකළ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා ව්‍යාපෘතියට අදාළව විදුලිය මිලදී ගැනීම සඳහා වන එකඟතාවට පිවිසීම පසුගිය සැප්තැම්බර් 06 වැනිදා සිදුව තිබේ.
එසේම Panasian Power PLC සමාගමෙහි තවත් පරිපාලිත සමාගමක් වන PAP EGSS Solar (Pvt) Ltd සමාගම මගින් ගාල්ල ග්‍රිඩ් උපපොළ ආශ්‍රිතව පිහිට වූ මෙගාවොට් 5ක ධාරිතාවකින් යුත් භූමිය මත ඉදිකළ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා ව්‍යාපෘතියට අදාළව විදුලිය මිලදී ගැනීම සඳහා වන එකඟතාවට පිවිසීම පසුගිය සැප්තැම්බර් 10 වැනිදා සිදු වූ බවත් එම සමාගම පවසයි.
මීට අමතරව Panasian Power PLC සමාගමෙහි පරිපාලිත සමාගම් හතරක් මගින් ගාල්ල, අනුරාධපුරය, අම්පාර, මාහෝ සහ මාතර යන ග්‍රිඩ් උපපොළ ආශ්‍රිතව සිදුකළ මෙගාවොට් 5ක ධාරිතාවකින් යුත් භූමිය මත පිහිටවූ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා ව්‍යාපෘති පහකට අදාළවද විදුලිය මිලදී ගැනීම පිළිබඳ එකඟතාවට පිවිසීම පසුගිය අගෝස්තු 15 වැනිදා සිදු විය.
ඒ අනුව මාසයක පමණ කාලයක් ඇතුළතදී Panasian Power PLC සමාගම මගින් ඉදිකළ මෙගාවොට් 35ක ධාරිතාවකින් යුත් සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා ව්‍යාපෘති හතකට අදාළව විදුලිය මිලදී ගැනීමේ එකඟතාවන් ලංකා විදුලි බල මණ්ඩලයත් සමගින් අත්සන් තැබීම සිදුව තිබේ.
Views: 144