DFCC බැංකුවෙන් ලංකාවේ පළමුවරට රු.බි. 2.5ක් වටිනා හරිත බැඳුම්කරයක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ සහ සංවර්ධන බැංකුවක් වන DFCC බැංකුව (DFCC.N0000) හරිත බැඳුම්කරයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බව පවසයි.
මෙලෙස බැංකුවෙහි ණය සුරැකුම්පත් ලැයිස්තුගත කිරීම සඳහා වන මූලික අනුමැතිය කොළඹ කොටස් හුවමාරුව මගින් පසුගියදා එම බැංකුව වෙත ලබාදී තිබේ.
DFCC බැංකුවට අනුව මෙය මෙරට වාණිජ බැංකුවක් මගින් කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන පළමු හරිත බැදුම්කර නිකුතුව ලෙසින්ද සැලකෙයි. මේ හරහා රටෙහි සූර්ය බලශක්ති ක්ෂේත්රය වෙත සහයෝගය දැක්වීම අරමුණ බව බැංකුව පවසයි.
මෙහිදී බැංකුව විසින් ජ්‍යෙෂ්ඨ, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි වසර තුනක කාලයක් සඳහා වන හරිත බැඳුම්කරයක් නිකුත් කරන බව පවසා සිටියි.
මෙම හරිත බැඳුම්කරය අයෝජකයන් වෙත මිලදී ගැනීම සඳහා විවෘත කිරීම සැප්තැම්බර 12 වැනිදා සිදු කිරීමට නියමිතව තිබේ.
මේ යටතේ මූලික බැඳුම්කර නිකුතුව ලෙස ජ්‍යෙෂ්ඨ, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි වසර තුනක කාලයක් සඳහා වන බැඳුම්කර කොටස් මිලියන 20ක් නිකුත් කෙරේ. එහිදී එක් බැඳුම්කර කොටසක් රුපියල් 100ක් ලෙස මිල කෙරී තිබේ.
මෙලෙස මිලදී ගන්නා බැඳුම්කර කොටස් සඳහා 12% ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වන බවත් DFCC බැංකුව සඳහන් කරයි.
මෙම නිකුතුවට පසුව තවත් බැඳුම්කර කොටස් මිලියන 5ක් නිකුත් කිරීමටත් බැංකුව අදහස් කරගෙන සිටියි. එහිදීද එක් බැඳුම්කරයක් රුපියල් 100ක මුදලකට මිල කෙරී තිබේ.
මෙම සමස්ත බැඳුම්කර නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන වටිනාකම රුපියල් බිලියන 2.5ක් (2,500,000,000ක්) බව DFCC බැංකුව වැඩිදුරටත් පවසයි.
DFCC බැංකුව සිදු කරන මෙම හරිත බැඳුම්කර නිකුතුවේ ඒකාබද්ධ කළමනාකරුවන් ලෙස Acuity Partners (පෞද්) සමාගම සහ Capital Alliance Partners Limited කටයුතු කරයි.
Views: 116