CSE හි සිදුකරන මෙරට විශාලතම මූලික මහජන කොටස් නිකුතුව සැප්. 13ට කල්යයි
කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙස LTL Holdings Limited සමාගම සිදු කරන මූලික මහජන කොටස් නිකුතුව ලබන සිකුරාදා (13දා) දිනයේදී මිලදී ගැනීම සඳහා විවෘත කෙරෙන බව එම සමාගම පවසයි.
හෙට (10දා) දිනයේදී මෙම කොටස් නිකුතුව විවෘත කිරිමට නියමිතව තිබුණත්, එය මෙලෙස දින තුනකින් කල් දැමීමට LTL Holdings Limited සමාගම තීරණය කර තිබේ. එහෙත් මෙම කොටස් නිකුතුවේ දායකත්වය සඳහා අයදුම්පත් මේ වනවිට භාර ගැනෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන, වසර 40 කට අධික ඉතිහාසයක් ඇති LTL Holdings Limited මෙම මූලික මහජන කොටස් නිකුතුව ඔස්සේ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වීමට සැලසුම්කර තිබේ.
මෙහිදී රු, බිලියන 16 ක වටිනාකමකින් යුත් මෙම කොටස් නිකුතුව යටතේ, කොටසක් රු. 14.50 බැගින් නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,379,310,400 ක් නිකුත් කෙරේ.එසේම අවශ්‍ය නම් මෙය රු. බිලියන 20 දක්වා වැඩිකර ගැනීම සඳහා Greenshoe විකල්පය ද සහිතව කොටස් නිකුතුව සැලසුම්කර ඇත.
මෙමගින් LTL Holdings සමූහයේ ප්‍රාග්ධනයෙන් 22.3% කොටස් හිමිකාරීත්වයක් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.
මෙම කොටස් නිකුතුවේ ආයෝජනයෙන් රු. බිලියන 13.5 ක්, ශ්‍රී ලංකාවේ ඉදිවන දෙවැනි LNG බලාගාරයවන කෙරවළපිටිය (Sahasdhanavi Ltd) මෙගාවොට් 350 ඒකාබද්ධ-චක්‍ර බලාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය සමස්ත ආයෝජනයෙන් කොටසක් ලෙස භාවිතා වනු ඇතැයි සමාගම පවසයි.
මීට අමතරව මෙම අරමුදල්වලින් රු. බිලියන 6.0 ක්, මෙගාවොට් 100 ව්‍යාපෘතියක්වන සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ (Rividhanavi (Pvt) Ltd) කොටස් ප්රාග්ධනයේ ආයෝජනය කිරීමට නියමිතව තිබේ.
LTL සමූහය මේ වනවිට බලශක්ති උත්පාදනය, EPC (Engineering, Procurement and Construction) බලාගාර සඳහා ඉංජිනේරු සේවා සැපයීම, O&M (Operations and Maintenance) මෙහෙයුම් හා නඩත්තු කටයුතු කොන්ත්‍රාත්, බලශක්තිය බෙදාහැරීමේ උපකරණ නිෂ්පාදනය සහ බර ඉංජිනේරු සේවා යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වේ.
එමෙන්ම LTL සමූහය කැපීපෙනෙන මුල්‍ය ප්‍රතිඵල වාර්තාකරගැනීමට සමත් වී ඇති, විශේෂඥ තාක්ෂණික දැනුමක් සහිත සමූහ ව්‍යාපාරයකි. 2024 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මුල්‍ය වර්ෂය තුළ එහි ඒකාබද්ධ ආදායම රු. බිලියන 59.8 ක් වූ අතර, බදු පසු ලාභය රු. බිලියන 5.8 ක් විය. මෙම ආදායමෙන් 70% ක්ම විදේශ විනිමය හා සම්බන්ධ ආදායම් වේ. 2024 මාර්තු 31 දින වන විට සමූහයේ සමස්ත වත්කම් වටිනාකම සහ සමකොටස් වටිනාකම පිළිවෙළින් රු. බිලියන 133.6 ක් සහ රු. බිලියන 74.4 ක් ලෙස වාර්තා වී තිබිණි.
සමූහයේ වසර 5 ක සාමාන්‍ය බදු පසු ලාභාන්තිකය 35% ක්වන අතර, කොටස් මත ප්රතිලාභ අනුපාතය 27% ක් විය (2020 මූල්‍ය වර්ෂයේ සිට 2024 මුල්‍ය වර්ෂය දක්වා). මෙගාවොට් 350 ක ධාරිතාවකින් යුත් කෙරවළපිටිය සොබාදනවි බලාගාරය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව මෙම මුල්‍ය ක්‍රියාකාරීත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. බලශක්ති කර්මාන්තයේ සැපයුම් දාමයේ පූර්ණ ඒකාබද්ධ සමූහයක් වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලද බලශක්ති ක්ෂේත්රයන්හි උදාවන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලැබීමේ හැකියාව LTL සතු ය.
මෙම මූලික මහජන කොටස් නිකුතුව කළමනාකරණය කරනු ලබන්නේ NDB Investment Bank Limited සහ CT CLSA Capital (Private) Limited මගිනි. F J & G de Saram සමාගම එහි නීතීඥවරුන් ලෙස කටයුතු කරන අතර, SSP Corporate Services (Private) Limited මගින් ලේඛකාධිකාරී සේවාවන් සපයනු ලැබේ. කොටස් නිකුතුවේ නිල බැංකු ලෙස හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව කටයුතු කරයි.
ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ නේපාලය යන රටවල LTL සමූහයේ බලශක්ති නිෂ්පාදන ධාරිතාව මෙගාවොට් 894 ක්වන අතර, ඉදිරියේදී තවත් මෙගාවොට් 450 ක ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නියමිත ය. මේ ඔස්සේ ඉදිරියේදී මෙගාවොට් 1,000 ඉක්මවූ ධාරිතාවක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම විශාලතම ස්වාධීන බලශක්ති නිෂ්පාදකයා බවට පත්වීමට LTL සමූහය සමත් වනු ඇත. ඒ අනුව එය කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචිවන විශාලතම ස්වාධීන බලශක්ති නිෂ්පාදන සමූහය බවට පත් වේ.
Views: 159