CSE & SECE&B ecoEventsප්‍රවර්ධනපුවත්

Ex-Pack සමාගමට තෙවැනි වරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිවෙයි

ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, අඛණ්ඩව තෙවැනි වසරටත් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (National Cleaner Production Center) මගින් පිරිනැමෙන කාබන් ශූන්‍යකරණතා සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය.

දේශගුණික විපර්යාස මැඬලීම වෙනුවෙන් සමාගම ගෙනයන තිරසර වැඩපිළිවෙළට ලැබුණු ගෞරව බුහුමනක් ලෙස මෙම සහතිකය හැඳින්විය හැක. විශේෂයෙන්ම කාබන් ශූන්‍යතාව වැනි ඉලක්කයක් ළඟාකරගැනීම අභියෝගාත්මක වූ කර්මාන්ත ක්ෂේත්‍රයක නියැළී සිටියදී පවා එම ඉලක්කය අඛණ්ඩව තෙවරක් ළඟාකරගැනීම තුළින් Ex-Pack සමාගම, සමස්ත ඇසුරුම් පෙට්ටි කර්මාන්ත ක්ෂේත්‍රයටම දැවැන්ත ආදර්ශයක් සැපයීමට සමත්ව ඇත. සිය ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය තුළ
උසස් කර්මාන්ත භාවිතාවන් අනුගමනය කිරීම තුළින් කාබන් විමෝචනය අවමකරගැනීමටත් සමස්තයක් ලෙස වාර්ෂික හරිතාගාර වායු විමෝචන ඉලක්ක ළඟාකරගැනීමටත් සමාගමට හැකිවී තිබේ.

ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය හරිතාගාර වායු විමෝචන ඇගයීම සිදුකරන්නේ විවිධ නිර්ණායක ගණනාවක් සැළකිල්ලට ගනිමිනි. බලශක්ති සහ ජල පරිභෝජනය, අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රවාහන කටයුතු සහ වෙනත් පරිභෝජන අංශ කෙරෙහි පුළුල් විගණනයක් තුළින් මෙම සහතිකය පිරිනැමේ. හරිත ඉදිකිරීම්, MEP සැලසුම් සහ කාබන් ශූන්‍යතා උපදේශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක්වන co-energi සමාගම, Ex-Pack සමාගමට කාබන් ශූන්‍යතා සහතිකය හිමිකරගැනීම සඳහාවන තාක්ෂණික මාර්ගෝපදේශනය සැපයීය.

Ex-Pack සමාගමේ සභාපති සත්තාර් කාසිම් මහතා අදහස් දක්වමින්, ″අධික කාර්මික භාවිතාවන් සහිත කර්මාන්තයක නියැළී සිටින අපගේ ව්‍යාපාරය තෙවැනි වසරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිකර ගැනීමට අපට විශාල සතුටක්. සමස්තයක් ලෙස පරිසරයටත්, සමාජයටත් මෙම කර්මාන්තය නිසා සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් අවම කිරීම සහ වළක්වාගැනීම වෙනුවෙන් අපි දිගින් දිගටම කැපවුණු පසුබිමක මෙම සහතිකය අපට බෙහෙවින් වැදගත්. අපි ඉදිරියටත් විශේෂඥ දැනුම සහ තිරසර භාවිතාවන් සමඟින් කාබන් ශූන්‍යතා අරමුණ ජයගැනීමට කටයුතු කරනවා″, යනුවෙන් පැවසුවේය.