CSE & SECEventsSMEකර්මාන්තපුවත්

මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් මූලික මහජන කොටස් නිකුතුවක් හරහා CSE හි Empower පුවරුවේ ලැයිස්තුගත වෙයි

මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් සමාගම පසුගිය 2024 ජූලි 26 වැනි දින වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ කොටස් හුවමාරුවේ (CSE) එම්පවර් (Empower) පුවරුවේ ලැයිස්තුගත විය. ඒ අනුව උතුරු පළාතේ මුල් බැසගත් කෘෂි ව්‍යාපාර අංශයේ කාන්තාවකු සතු පළමු ව්‍යාපාරය බවට පත්වීමට එම සමාගමට හැකිවිය.

එම සමාගම ප්‍රාග්ධන වෙළඳපොළ වෙත සිදු කරන ඓතිහාසික ප්‍රවේශය සහ පාරදෘශ්‍ය සහ ශක්තිමත් මූල්‍ය භාවිතයන් තුළින් වර්ධනය වීමට සමාගම සතු කැපවීම සංකේතවත් කරමින් CSE ප්‍රධාන කාර්යාලයේ වෙළෙදපල භුමියේ පැවති විශේෂ උත්සවයකදී සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ නායිකා තවමලර් ගුගනාදන් මහත්මිය විසින් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රදායික ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කළාය.

මූලික මහජන කොටස් නිකුතුවේදී මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් සතු සාමාන්‍ය කොටස් 25,000,000ක් කොටසකට රුපියල් 5.00 බැගින් නිකුත් කෙරුණු අතර, මෙහෙයුම් පුළුල් කිරීම සහ වෙළඳපල පැවැත්ම වැඩි කිරීම සඳහා රුපියල් 125,000,000ක් උත්පාදනය කර ගැනීම මෙහි ඉලක්කය විය.

නිකුතු ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ අධි ඉල්ලුමක් සමඟ මූලික කොටස් නිකුතුවේ අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා ගියේය. රුපියල් මිලියන 322.183ක වටිනාකමකින් යුත් කොටස් මිලියන 64.436ක් සඳහා අයදුම්පත් 662 ක් හිමි වූ අතර ඉන් නිරූපණය වන්නේ ශක්තිමත් ආයෝජක විශ්වාසයයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය ආවර්ජනය කරමින්, මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් සභාපති විජයානන්ත් ගුගනාදන් මහතා සිය අදහස් මෙලෙස දැක්වුවේය. “මහරාජා ෆුඩ්ස් ආරම්භ කරන විට, අපගේ දැක්ම පැහැදිලි එකක් විය. ශ්‍රී ලංකාවේ නියම රසයන් සහ වටිනා සූපශාස්ත්‍ර උරුමයන් ලොව පුරා මුළුතැන්ගෙයි වෙත ගෙන යාම ඊට අයත් විය. වසර ගණනාවක් පුරා, අපි අපගේ පාරිභෝගිකයින්ට ගුණාත්මක නිෂ්පාදන ලබා දෙමින් මෙම දැක්ම සැබෑවක් කර ඇත. මෙම ලැයිස්තුගත කිරීම අපගේ ප්‍රමිතීන් කෙරෙහි පාරිභෝගික විශ්වාසය ඉහළ නංවමින් ගෝලීය වෙළඳපල වෙත දොරටු විවර කර දී ඇත. අපනයන පුළුල් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීමට අප අරමුණ කරන්නෙමු.”

යාපනය, මාතර, කොළඹ සහ අනෙකුත් ප්‍රාදේශීය මධ්‍යස්ථානවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පවත්වන ලද ඒකාබද්ධ ප්‍රාග්ධනය රැස්කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ CSE විසින් හඳුනා ගත් ප්‍රධාන සමාගමක් ලෙස මහරාජා ෆුඩ්ස් ලිමිටඩ්  දැක්විය හැක. ලැයිස්තුගත කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරීම මෙම වැඩසටහන්වල අරමුණ වූ අතර එහිදී USAID විසින් එහි CATALYZE පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් අරමුදල් සපයන වැඩසටහන හරහා පිරිනමනු ලබන අතිරේක සහාය පිළිබඳව ද දැනුවත් කරන ලදී.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා කාර්යක්ෂම ලෙස ගෝලීය ප්‍රාග්ධනය රැස් කිරීමට පහසුකම් සැලසීමට) එම්පවර් පුවරුව ස්ථාපිත කර ඇත.

Views: 66