ඉදිරි මාස 06 සඳහා ඉන්ධන තොග සහ බෙදාහැරීම සමාලෝචනය කෙරේ
වසරේ ඉදිරි මාස 06ක කාලයක් සඳහා මෙරට වෙත ඉන්ධන තොග ආනයනය, සංචිත පවත්වාගෙන යාම, ගබඩා ධාරිතාව, ඉන්ධන බෙදාහැරීමේ සැලසුම් සහ ඇනවුම් ලබාදීම සහ ඉන්ධන පිරිපහදු මෙහෙයුම් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාරීත්වයත් සමගින් සාකච්ඡා කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඊයේ දිනයේදී මෙම සාකච්ඡා පැවැත් වී ඇති අතර, එහිදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් දීපව්‍යාප්තව ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ලෙස සෑම වර්ගයකම නිෂ්පාදන අමතර සංචිතයක් පවත්වාගෙන යන බවත් පවසා තිබේ.
එසේම මේ වනවිට වාර්ෂික නඩත්තු කටයුත්තට ලක්ව තිබෙන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදු පරිශ්‍රයත් ලබන අගෝස්තු මාසය මැද සිට නැවතත් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මේ අතර මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ නිරත අනෙකුත් සමාගම් වන ලංකාඅයිඕසී, සයිනොපෙක් සහ ආර්එම්පාර්ක්ස්-ෂෙල් යන සමාගම් සතු තොග සහ බොරතෙල් නෞකා ආනයන සැලසුම් සම්බන්ධයෙන්ද මේ වනවිට සමාලෝචනයක් සිදු කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.
විශේෂයෙන්ම ඊයේ පෙරවරැවේදී ඉරානයේ ටෙහ්රාන් නුවරදී එල්ල වුණු ප්‍රහාරයකින් පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ඝාතනයට ලක්විමත් සමගින්ම මැදපෙරදිග ඇති විය හැකි යුද ගැටුම් තත්ත්වයත් සමිබන්ධයෙන් අවදානමක් මතුව තිබේ.
ඒ හරහා ලෝක වෙළෙඳ පොලෙේ බොරතෙල් හිඟයක් ඇති වී මිල ඉහළ යාමේ අවදානමක්ද හට ගෙන තිබේ. එසේම මේ හරහා මෙරට ආර්ථිකය වෙත එල්ල විය හැකි බලපෑම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ජනාධිපතිවරයා විසින් ඊයේ කමිටු තුනක්ද පත් කළේය.
අද පෙරවරැ 10.30 වන විට ලෝක වෙළෙඳ පොලෙහි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.55ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 78..67ත් ලෙසත් සටහන්ව තිබුණි. ඊයේ පස්වරු 3.30 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.65ක් ලෙසත්, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.84ක් ලෙසත් සටහන්ව තිබුණි.
මේ අතර මීළග ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමටත් නියමිතව තිබේ.
Views: 8