Eventsඅදහස්පුවත්රාජ්‍යවිදෙස්

“ඉන්දියාව සමගින් මෙරටට අහිතකර ගිවිසුම් 10කට අත්සන් තැබීමේ සූදානමක්” – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

ඉන්දියාව සමගින් මෙරටට අහිතකර ගිවිසුම් 10කට අත්සන් තැබීමට රජය සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම පක්ෂයද සම්බන්ධ සර්වජන බලය දේශපාලන එකමුතුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

ඒ අනුව ගුවන් තොටුපොළ පාලනය පැවරීම, ඉන්දීය රුපියල ශ්‍රී ලංකා රුපියල ඒකාබද්ධකරණය, භූගෝලීය ඒකාබද්ධකරණය, විදුලි, රේගු, තෙල් සහ සංස්කෘතික ඒකාබද්ධකරණය යන ගිවිසුම් මෙහිදී අත්සන් තබනු ඇතැයි මන්ත්‍රීවරයා පවසා තිබේ.

විශේෂයෙන්ම පසුගියදා ඉන්දීය විදේශ ඇමතිවරයා මෙරටට පැමිණීමේ අවස්ථාවත් ඊට අදාළ බව පවසන මන්ත්‍රීවරයා, අදාළ ගිවිසුම අත්සන් තැබීම සඳහා ඉන්දීය අගමැති මොදි මෙරටට පැමිණීමේ අවසථාවක් පවතින බවත් සඳහන් කර සිටියි.

“මීට දින කිහිපයකට පෙර ඉන්දීය විදේශ ඇමති එස්. ජෙයිශංකර් හොර රහසේ කෙටි වෙලාවකට මෙරටට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මෙරටට අහිතකර ගිවිසුම් 10කට අත්සන් තැබීම සදහා එකගතාවක් ඇති කරගෙන නැවත ඔහු ඉන්දියාව බලා පිටත්වෙලා තියෙනවා. මේක කාගේවත් අවධානය නොවූ කාරණයක්. මම මේක වගකීමෙන් කියන්නේ. දැන් එතකොට ඒ විදියට එකගතා කර ගත් ගිවිසුම් සදහා අත්සන් කිරීමට ලබන මාසයේදී බොහෝ දුරට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දකවා ඇති මන්ත්‍රීවරයා, “ඒ විදියට අත්සන් කරන්න යන ගිවිසුම් 10 තමයි මෙරට සියලුම ගුවන් තොටුපළවල් ඉන්දියානු සමාගමකට හෝ සමාගම් කිහිපයක පාලනයට යටත් කිරීම. දෙක තමයි මුල්‍ය ඒකාබද්ධකරණය. ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු රුපියල විවහාරික මුදල් ඒකකයක් බවට පත් කිරීම. එතකොට ලංකාවේ කඩයකින් බඩු ගන්නකොට ශ්‍රී ලංකා රුපියල් දීලත් ගන්න පුළුවන් ඉන්දීය රුපියල් දීලත් ගන්න පුළුවන්. ඊට පස්සේ නිෂ්පාදනය වන ලංකාවේ භාණ්ඩවල සදහන් කරන්න වෙනවා ඉන්දියානු රුපියල් දීලා ගන්නවා නම් මිල මෙච්චරයි. ශ්‍රී ලංකා රුපියල් දීලා ගන්නවා නම් මිල මෙච්චරයි කියලා. තුන තමයි භූගෝලීය ඒකාබද්ධකරණය. හතර විදුලි ඒකාබද්ධකරණය. පහ රේගු ඒකාබද්ධකරණය. හය තෙල් ඒකාබද්ධකරණය. හත සංස්කෘතික ඒකාබද්ධකරණය” යනුවෙන්ද පවසා තිබේ.