මාලදිවයිනේ සමාගම් වෙත CSE හි ලැයිස්තුගතවීමේ අවස්ථාවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ මාලදිවයිනෙහි ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධන අධිකාරිය (CMDA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා මාලදිවයිනේ මාලේ අගනුවරදී සිදුවිය.

මෙම එකඟාවට පිවිසීම හරහා මාලදිවයිනේ ක්‍රියාත්මක ලැයිස්තුගත සමාගම් වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ අවස්ථාව හිමි වන බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහන් කරයි. එහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි බහු-මුදල් ඒකක පුවරුවෙහි (Multi-Currency Board) මෙම සමාගම් ද්විතියිකව ලැයිස්තුගත කිරීමේ අවස්ථාව ලැබෙන බව පැවසෙයි.

SEC සහ CMDA අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාව සඳහා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රංග ගුණවර්ධන, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ෆයිසාල් සලේහ්, CMDA සභාපති අයිෂාත් සාහිරා, CSE හි සභාපති ඩිල්ෂාන් වීරසේකර, SEC හි අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, CSE හි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සහ SEC හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිස් එකතු වී තිබේ.  

කොළඹ කොටස් හුවමාරුවෙහි මෙම බහු-මුදල් ඒකක පුවරුව (Multi-Currency Board) 2018 වසරේදී හඳුන්වාදුන් අතර, එය ශ්‍රී ලංකාවේ මූල්‍ය පරිසරය තවදුරටත් ශක්තිමත් කිරීම සහ විවිධාංගීකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙසද එය හැඳින්වුණි.

මෙම වේදිකාව හරහා ජාත්‍යන්තර සමාගම් වෙත කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත වී සිය ප්‍රාග්ධනය එක්සත් ජනපද ඩොලර් මුදලින් රැස් කරගැනීමේ අවස්ථාව හිමි වෙයි. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳව වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සහ අවස්ථාවන් පුළුල් කරගැනීමටත් මෙම වේදිකාව හරහා අවස්ථාව ලැබෙන බවත් අදහස වෙයි.

මෙලෙස විදෙස් සමාගමක් කොළඹ කොටස් හුවමාරුවෙහි බහු-මුදල් ඒකක පුවරුවෙහි (Multi-Currency Board) ලැයිස්තුගතවීමට ඉල්ලුම් කිරීමේදී එම සමාගම සතු ප්‍රාග්ධනය ඩොලර් මිලියන 10කට නොඅඩු විය යුතුය.

Views: 0