රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයට ආයෝජකයෙකු සොයයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්මිණිතැන්න ප්‍රදේශයේ ඉදිකර ඇති මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ක්‍රමවේදය යටතේ වසර 30ක කාලයකට කළමනාකරණය කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයන බව රජය පවසයි.

ඊට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාව වෙත ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙම ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන බව රජය පවසයි.

එසේම හඳුනාගනු ලබන ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමටත් පියවර ගන්නා බව රජය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙලෙස එම ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන නිර්දේශ ලබා ගැනීම සඳහා පසුගිය වසරේ මැයි මාසයේදී එය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජිතායතනය වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙම රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය, මෙරට ඉදි කළ ප්‍රථම දෘශ්‍ය කලා දර්ශන තල ජනපදය ලෙස සැලකෙයි. 2010 වසරේදී රුපියල් මිලියන 630ක වියදමින් ඉදි කෙරුණු මෙම ටෙලි සිනමා ගම්මානය දේශීය මෙන් ම විදේශීය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණකරුවන්ට අවශ්‍ය චිත්‍රාගාර සහ දර්ශන තල පහසුකම්වලින් සමන්විත වේ.

අක්කර 235ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති ටෙලි සිනමා ගම්මානයේ අක්කර 135ක චිත්‍රාගාර සහ දර්ශන පසුතල පිහිටා තිබෙන අතර, ඉතිරි අක්කර 100 ස්වාභාවික වනාන්තරයකි.

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය තුළ වසරකට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රූගත කිරීම් 15කට ආසන්න සංඛ්‍යාවක් සිදු වන බව වාර්තා වෙයි. ආරම්භයේ පටන් මේ දක්වා චිත්‍රපට සහ ටෙලිනාට්‍ය 50කට වැඩි සංඛ්‍යාවක් මෙහි රූගත කර ඇතැයි පැවසෙයි.

කොවිඩ්-19 වසංගත සමයේදී මෙහි මෙහෙයුම් කටයුතු යම් කිසි ආකාරයක පසුබෑමට ලක්වුවද, 2022 වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ කාලය ඇතුළත මෙම ටෙලි සිනමා ගම්මානය උපයා ඇති ආදායම රුපියල් මිලියන 9 ක් ලෙසත් සඳහන්ව තිබේ. 

Views: 0