SPARK 2024 තරුණ ව්‍යවසායකත්ව තරඟාවලිය අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි

නිපුණතා පිරි තරුණ ව්‍යවසායකයන් උදෙසා නිර්මාණය කළ ජාතික වේදිකාවක් වූ SPARK තරඟාවලිය 2024 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති අතර, දිවයින පුරා විසිරී සිටින, වයස 15-30 අතර දැනටමත් ව්‍යවසායක යෙදෙන හෝ ඊට අපේක්ෂා කරන තරුණ-තරුණියන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන SPARK 2024, පාසැල් හා තරුණ වියේ ව්‍යවසායකත්ව අදහස් ඇති තරුණ-තරුණියන් ඉලක්ක කරනු ලැබූ තරඟාවලියක් වන අතර, පාසැල් හා විවෘත වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මේ තරඟය සඳහා අයදුම් කළ හැකිය. තාරුණ්‍යයේ නව්‍ය අදහස් හා සංකල්ප, සමාජයේ ප්‍රගතියට හේතුවන නව ව්‍යවසායන් බවට පරිවර්තනය කිරීම සඳහා දිරිගැන්වීම මෙම තරඟාවලියේ අරමුණයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ බුවනෙකබාහු පෙරේරා මහතා අදහස් දක්වමින්, “අප තරුණ ව්‍යවසායකයන්ගේ දියුණුවට අතහිත දීමට දිගින් දිගටම කැපවුණු ආයතනයක්. ඒ වගේම අනාගත ශ්‍රී ලංකාවේ වාණිජ ක්ෂේත්‍රය සඳහා ඔවුන්ගේ භූමිකාව හඳුනා ගැනීම කෙරෙහිත්, මේ තරඟාවලිය හරහා මූලික අවදානයක් යොමු කරනවා. පෞද්ගලික අංශයේ අපගේ හවුල්කරුවන්ගේ ද සහයෝගය ඇතිව නිර්මාණය කළ SPARK, වාර්ෂික තරඟයක් ලෙස අඛණ්ඩව පැවැත්වීමට අප බලාපොරොත්තු වන අතරම, මේ තුළින් අපේ රටේ තරුණ ප්‍රජාව සතු නව අදහස් දිරිගන්වමින්, ඔවුන්ගේ ව්‍යවසායක නිපුණතා පෝෂණය කරමින්, එම හැකියාවන් ලොවටම පෙන්වීමට ඉඩක් සලසා දීමටත් අප ඇපකැප වී සිටිනවා. මේ වසරේදීත් ඉතා උද්යෝගිමත් තරඟයක් ඔබට දැකබලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති අතර, මේ සඳහා තරුණ-තරුණියන් වැඩි වශයෙන් යොමු කරවීමට උනන්දු කරවන ලෙස අප දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.”

අඛණ්ඩව දෙවැනි වරටත් පැවැත්වෙන SPARK තරඟාවලිය, මෙම වසරේදීත් අනාගත ව්‍යවසායකත්ව ශක්‍යතා හා අපේක්ෂා ඇති තරුණ පිරිස් වෙත ආරාධනා කරයි. පසුගිය වසරේ තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ තරඟකරුවන්ට මාර්ගගත වැඩමුළු මගින් ව්‍යාපාර සැලසුම් සම්පාදනය පිළිබඳ පුහුණු අවස්ථා, නේවාසික පුහුණු කඳවුරු මගින් හා ව්‍යවසායක උපදේශනයන් මඟින් ව්‍යවසායක සංකල්ප ඉදිරිපත් කිරීමේ නිපුණතා සංවර්ධනය වැනි වටිනා අවස්ථා රැසක් ද හිමි වූ අතර තරඟාවලියේ ජයග්‍රාහකයන් 10 දෙනෙකුට ඉන්දියාවේ හයිඩ්‍රාබාද් හි නවෝත්පාදන හා ව්‍යවසායකත්ව පරිසරය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට අගනා විදේශ සංචාර අවස්ථාව ද හිමි විය.  

පසුගිය වසරේ තරඟාවලියේ ජයග්‍රාහිකාව වූයේ 16 හැවිරිදි මිහින්දි මිනුපමා දියණියයි. කුඩා අදහසකට වුවත් ලෝකයටම බලපාන ලොකු වෙනසක් සිදු කළ හැකි බව සඳහන් කළ ඇය වැඩිදුරටත් අදහස් දක්වමින්, “මම SPARK එකට අයදුම් කළේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. මම ඒක සාර්ථකව ජයගත්තා. මගේ ව්‍යවසායක අනාගතයටත් මේ නිසා පැහැදිලි මාවතක් විවර වුනා. රටක් වශයෙන් දියුණුවෙන්න නම් ව්‍යවසායකත්වය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. SPARK තරඟයෙන් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍ය නිපුණතා දියුණු කරගන්න උදව් උනා.”

මේ සඳහා සහභාගී වීමට තරුණ-තරුණියන්ට ආරාධනා කරමින් අදහස් දැක්වූ ඇය, “මේ වසරෙදි SPARK  සඳහා සහභාගී වෙන්න ඔබ හැමෝටමත් අවස්ථාවක් තියෙනවා. SPARK තරඟය ජයග්‍රහණය පමණක් නෙවෙයි, තරඟයට සහභාගි වීම පවා ජයග්‍රහණයක් කියලා මම හිතනවා. ඒ නිසා ඔයාලගේ සිහින යථාර්ථයක් බවට පත්කර ගන්න ලැබෙන මේ වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” යනුවෙන් පැවසුවාය.

ව්‍යවසායක ක්ෂේත්‍රයේ නිපුණතා ඇති තරුණ-තරුණියන් සඳහා වූ SPARK 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත අතර ව්‍යවසායක සංකල්ප හා අභිලාෂ ඇති පාසල් සිසුන්ට හා තරුණ නවෝත්පාදකයන්ටhttps://spark.chamber.lk/වෙබ් අඩවිය හරහා මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දැන් විවර වී ඇත. අයදුම්පත් බාර ගැනීම 2024 ජුලි 30 දිනෙන් අවසන් වීමට නියමිතය.

Views: 0