හේලීස් සමාගම ශීත කළ අධිසාන්ද්‍ර පොල්වතුර අපනයනට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම ශීත කළ අධිසාන්ද්‍ර පොල්වතුර අපනයනට සූදානමින් සිටින බව පවසයි.

එම සමූහය යටතේ අලුතින් ස්ථාපිත කළ හේලීස් නේචර් නෙස්ට් (පෞද්) සමාගම (Hayleys Nature Nest (PVT) Ltd) හරහා මෙම ශීත කළ අධිසාන්ද්‍ර පොල්වතුර අපනයනය සැලසුම වී තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි (BOI) ව්‍යාපෘතියක් ලෙස සිදු කරන මෙම අපනයනට අදාළ එකඟතාවට පිවිසීම පසුගියදා සිදු විය.

“අපනයන වෙළෙඳ පොළ සඳහා ශීත කළ අධි සාන්ද්‍ර පොල් වතුර නිෂ්පාදනය සඳහා වන ව්‍යාපෘතියක් වෙනුවෙන් හේලීස් නේචර් නෙස්ට් (පෞද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර එකඟතාවකට පිවිසීම සිදු වුණා.” යනුවෙන් ආයෝජන මණ්ඩලය සිය ට්විටර් ගිණුමේ ( වර්තමානයේදී X) සටහන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා එම සමාගම මගින් සිදු කර ඇති එක්සත් ජනපද ඩොලර් මිලියන 5.378ක් බවත් එම මණ්ඩලය සඳහන් කර සිටියි.

Views: 0