මැරීන් ඩ්‍රයිව්හි පර්චස් 52ක් නිවාස ව්‍යාපෘතියක් සඳහා වසර 99කට එක්ස්පෝ ප්‍රොපටර්ටි ඩිවලොපර්ස් වෙත

කොල්ලුපිටිය, මුහුදු මාවත (මැරීන් ඩ්‍රයිව්) හි පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු පර්චස් 40ක් ද ඇතුළුව පර්චස් 52ක භූමියක් මෙරට දේපළ සංවර්ධන සමාගමක් වන එක්ස්පො ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්ගලික) සමාගම වෙත ලබාදීමට රජය අනුමැතිය ලබාදී ඇතැයි පවසයි.

මෙහිදී නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම භූමිය වසර 99ක බදු පදනම යටතේ අදාළ සමාගම වෙත පිරිනැමීමට අදාළ කැබිනට් අනුමැතිය පසුගියදා හිමි විය.

මීට පෙර 2007 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය සතු අදාළ පර්චස් 40ක ඉඩම එම සමාගම වෙත වසර 50ක දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට අනුමැතිය ලබා තිබුණද එය ක්‍රියාත්මක වී නැත. එහිදී එම ඉඩම් පදිංචිව සිටි අනවසර පදිංචිකරුවෙකු ඊට හේතුව වී තිබෙ.

එහෙත් එම අවස්ථාවේදී අදාළ වටිනාකමින් 25%කට සමාන මුදලක් අය කරගැනිමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ පර්චස් 40ක ඉඩම සහ ඊට යාබදව ඇති තවත් පර්චස් 12ක ඉඩමක් ඒකාබද්ධ කරමින් මෙලෙස පර්චස් 52ක භූමියක් අදාළ තමන් වෙත බදු දෙන ලෙස එම සමාගම ඉල්ලූම් ඉදිරිපත් කර තිබූ බව පැවසෙයි.

එහිදී රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වර්තමාන තක්සේරුව මත පදනම්ව අදාළ ඉඩම් කොටස වසර 99ක බදු පදනම මත එක්ස්පො ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්ගලික) සමාගම වෙත පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබේ.

Views: 0