රුපියල් 1,700 වතු කම්කරු වැටුප් ගැසට්ටුව අධිකරණය අත්හිටුවයි

කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

වතු කම්කරුවන්ගේ වැටුප් හදිසියේ වැඩි කිරීමෙන් විශාල වශයෙන් රජයට බදු ගෙවන වතු කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වන බවත් වතු කම්කරු වැටුප් වැඩි කිරීමෙන් සමාගම් අපහසුතාවට පත් විය හැකි බවත් සඳහන් කරමින් වතු සමාගම් 21ක් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

වතු සමාගම් 21ක් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කම්කරු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අභියාචන පෙත්සම ලබන වර්ෂයේ පෙබරවාරි 18 වැනිදා විභාග කිරීමට දින නියම කෙරී තිබේ.

Views: 0