කලම්බු සිටි සෙන්ටර් සතු දිගු කාලීන ණය පියවීමට අබාන්ස් පීඑල්සී වෙතින් රු.බිලියන 2ක ණයක්

කොළඹ නගරයෙහි පිහිටි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක් සහ මහල් නිවාස ඇතුළු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන කලම්බු සිටි සෙන්ටර් සතු දිගු කාලීන ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 2ක ණයක් ලබා දෙන බව අබාන්ස් පීඑල්සී සමාගම (ABNS.D0000) පවසයි.

මෙම කලම්බු සිටි සෙන්ටර් ව්‍යාපෘතිය අයත් කලම්බු සිටි සෙන්ටර් (පෞද්) සමාගම අබාන්ස් පීඑල්සී සමූහයෙහි අනුබද්ධ සමාගමකි.

අබාන්ස් පීඑල්සී සමාගමෙහි සබැඳි පාර්ශ්ව ගනුදෙනුවක් ලෙස මෙම ණය මුදල ප්‍රදානය කෙරී ඇතැයි අබාන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. ඊට අදාළව අදාළව සමාගම් දෙක අතර එකඟතාව පසුගිය ජූනි 28 වැනිදා අත්සන් තබා තිබේ.

මේ අතර අබාන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට 2024/25 මූල්‍ය වර්ෂය සඳහා එම දිනය වනවිට මෙම ණය මුදලත් සමගින් එම සමාගම මගින් සිදු කර ඇති සමස්ත සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 4.5ක් (4,512,499,610ක්) බව සමාගම පවසයි.

මෙම කලම්බු සිටි සෙන්ටර් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අබාන්ස් සමූහය සහ සිංගප්පූරුවේ සිල්වර්නීඩ්ල් හොස්පිටැලිටි සමාගම අතර ඇති කරගත් ඒකාබද්ධ හවුල්කාරීත්වයක් යටතේ සිදු කෙරුණු ව්‍යාපෘතියකි. මහල් 48කින් සමන්විත මෙම කලම්බු සිටි සෙන්ටර් ව්‍යාපෘතිය සඳහා සිදු කෙරුණු ආයෝජනය ඩොලර් මිලියන 150ක් පමණ වෙයි.

වර්ග අඩි 1,000‍,000ක භූමි ප්‍රමාණයක විසිරී ඇති කලම්බු සිටි සෙන්ටර් ව්‍යාපෘතිය තුළ සුපිරි සන්නාම සහිත සාප්පු සංකීර්ණවලට අමතරව සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණයක්, සිනමා ශාලාවක්, ප්‍රමුඛ පෙළේ ආපනශාලාද පවතී.

Views: 0