ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් “නැමදුමෙන් පසු ඇමදුම” දියත් කරයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් දියත්කොට ඇති “සියපතෙන් මිහිකතට” තිරසර සමාජ සත්කාරක වැඩසටහන යටතේ “නැමදුමෙන් පසු ඇමදුම” තේමාව පෙරදැරිකරගනිමින් ශ්‍රී පාදය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතියේ කසල එක් රැස් කොට පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කළ බව පවසයි.

2024 ජූනි මස 05 වැනිදාට යෙදුණ ලෝක පරිසර දිනය ද නිමිතිකොටගෙන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ විශේෂ අවසරයක් ලබා සංවිධානය කරන ලද මෙම “නැමදුමෙන් පසු ඇමදුම” ප්‍රජා සත්කාරය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නුවරඑළිය කාර්යාලයේ නිලධාරීන් සමග සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ප්‍රධාන කාර්යාලයේ 50 කට අධික කාර්ය මණ්ඩලය එක්ව සිට ඇත.

“නැමදුමෙන් පසු ඇමදුම” ප්‍රජා සත්කාරය වඩාත් ක්‍රමානුකූලව ක්‍රියාත්මක වීමෙහිලා සියපත ෆිනෑන්ස් කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් යුතුව ශ්‍රී පාදස්ථානයේ ඉහළටම ගමන් කොට ටොන් එකකට ආසන්න පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු දිරාපත් නොවන කසල ප්‍රමාණයක් රැස් කොට ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුකිරීමට කටයුතු කරන ලදී.

වාර්ෂිකව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත “නැමදුමෙන් පසු ඇමදුම” ප්‍රජා සත්කාරය එක්දිනකට සීමාවූ පිරිසිදු කිරීමකින් ඔබ්බට ගොස් ශ්‍රී පාද අඩවිය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීමේ ජාතික ක්‍රියාදාමයක් ලෙස ඉදිරියටත් සංවිධානය කිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී කටයුතු යොදා ඇත. තවද ශ්‍රී පාද අඩවිය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය කසල බැහැරකිරීමෙන් ආරක්ෂා කිරීම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක්ද සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් දියත් කිරීමට අපේක්ෂිතය. 

ශ්‍රී ලාංකිකයන් සතු පාරිසරික හා සංස්කෘතික උරුමයන් ඉදිරි අනාගතය වෙත තිරසාරත්වය සමග දායාද කිරීමට අත්වැල් බැඳගන්නා ලෙස සියපත ෆිනෑන්ස් සියළු ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා කර සිටියි.

Views: 0