ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟතාවකට

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 පැරිස් සංසදයට සමගාමීව ශ්‍රී ලංකාව සහ නිල ණයහිමි කමිටුව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් එකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කළේය. අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම එකඟතාව යටතේ ණය හිමිකරුවන්ට ගෙවිය යුතුව ඇති ඩොලර් බිලියන 37ක් අතරින් ඩොලර් බිලියන 5.9ක ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවට පිවිස තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන්, මෙම ක්‍රියාවලියට නායකත්වය දුන් නිල ණයකරුවන්ගේ කමිටුවේ සභාපතිවරුන් වන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයට මෙන්ම චීනයේ අපනයන ආනයන බැංකුවට මෙන්ම ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සඳහා නිල ණයකරුවන්ගේ කමිටු සාමාජිකයින්ට අවංකවම ස්තූති පළ කරන බව අමාත්‍යවරයා පවසයි.

එසේම ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ද්විපාර්ශ්වික ණය  ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලියක ද නිරත සිටින බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ණය අර්බුදයට විසඳුමක් සෙවීමට සහ මෙම වැදගත් සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීමට කමිටු ලේකම් කාර්යාලයේ කැපවීම පිළිබඳ ප්‍රසංශා එක් කරන අතර එය මෙරට ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කරන සහ වර්ධනයට හේතු වන බව අමාත්‍යවරයා පවසයි.

Views: 0