CSE හි ලැයිස්තුගතවිමට යන මොකක්ද මේ කේබල් සොලියුෂන්ස් ලිමිටඩ්?

කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන මූලික මහජන කොටස් නිකුතුවක් හරහා එහි ලැයිස්තුගතවීමට කේබල් සොලියුෂන්ස් ලිමිටඩ් නම් සමාගමක් සූදානමින් සිටින බව පවසයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව මගින් ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව මෙහිදී එම සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 80.7ක් (80,786,600ක්) කොළඹ කොටස් හුවමාරුවෙහි දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත කිරීම සැලසුම වී තිබේ.

මෙහිදී එක කොටසක් රුපියල් 7.50ක් බැගින් මිල කර ඇති අතර, සමස්ත මූලික මහජන කොටස් නිකුතුවෙහි වටිනාකම රුපියල් මිලියන 606ක් (605,899,500ක්) ලෙස ගණන් බලා තිබේ.

මෙම කේබල් සොලියුෂන්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ACL Cables PLC සමාගමෙහි පරිපාලිත සමාගමකි.

මෙම කේබල් සොලියුෂන්ස් ලිමිටඩ් පෞද්ගලික සමාගම අද වනවිට ජාත්‍යන්තර කේබල් සන්නාමයක් වන Kablr සන්නාමයේ කේබල්, වයර් සහ හාර්නස් නිෂ්පාදනයේ යෙදී සිටියි. එහි කර්මාන්තශාලාව කඩවත ප්‍රදේශයේ පිහිටා තිබේ.

2008 වසරේදී ස්වීඩනයේ සමූහයක් සමගින් ඒකාබද්ධවී ආරම්භ කෙරුණු මෙම කේබල් සොලියුෂන්ස් ලිමිටඩ් සමාගම 2019 වසරේදී ACL Cables සමාගමෙහි පරිපාලිත සමාගමක් බවට පත්විය.

අද වන විට ශ්‍රී ලංකාවට අමතරව ජර්මනිය, ඉන්දියාව සහ ජපානය තුළ මෙම කේබන් සොලියුෂන්ස් ලිමිටඩ් පෞද්ගලික සමාගමේ කර්මාන්තශාලා පිහිටා තිබේ.

එම සමාගම මගින් යන්ත්‍ර සහ කර්මාන්තශාලා, ගොඩනැගිලි කළමනාකරන පද්ධති, ලෝහ කර්මාන්තය, ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් පාලන කැබිනට්ටු කර්මාන්තය, මෝටර් රථ කර්මාන්තය, ආහාර, කිරි සහ පාන වර්ග නිෂ්පාදන කර්මාන්තය, බොරතෙල්, ගෑස් සහ රසායනික කර්මාන්තය, කාර්මික මෝටර් යන්ත්‍ර සහ ස්වයංක්‍රීය රොබෝ තාක්ෂණය කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙත කේබල් මාදිලි නිෂ්පාදනය සිදු කරන බවත් පවසයි.

Views: 0