සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් නිකුත් කළ කොටස් මිලියන 58.6ක් ආපසු මිලදී ගැනීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම (AAIC.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් අතරින් කොටස් මිලියන 58.6ක් (58,593,750ක්) ආපසු මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි.

ඊයේ (11දා) රැස් වුණු සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ පිළිබඳ තීරණය ගෙන තිබේ. සිය ප්‍රාග්ධන කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම සහ කොටස්හිමිකරුවන්ගේ වටිනාකම් වඩාත් යහපත් අතට පත් කිරීමේ අරමුණින් මෙම පියවරට පිවිස ඇතැයි එම සමාගම පවසයි.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමට අනුව මේ දක්වා එම සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය වන කොටස් මිලියන 375 (375,000,000) අතරින් මෙම කොටස් මිලියන 58.6ක් (58,593,750ක්) ආපසු මිලදී ගැනීමට සැලසුම වී තිබේ.

මෙය දැනට කොටස් හිමිකරුවෙකු සතුව ඇති සෑම කොටස් තිස් දෙකකින්ම කොටස් පහක් බැගින් මිලදී ගැනීමක් ලෙස වන බව සමාගම පවසයි.

මෙහිදී එක් කොටසක් රුපියල් 102.40ක් බැගින් මිලදී ගැනීමට යෝජනා වී ඇත. ඒ අනුව මෙම මිලදී ගැනීමේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 6ක් (6,000,000,000) බව සටහන්ව තිබේ.

මේ අතර අදාළ කොටස් නැවත මිලදී ගැනීමේ කාලසීමාව ලෙස 2024 ජූලි 30 වැනිදා සිට අගෝස්තු 13 වැනිදා දක්වා යෝජනා කෙරී තිබේ.

කෙසේ වෙතත් මෙම කොටස් ආපසු මිලදී ගැනීමේ යෝජනාව සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇති අතර, එම අනුමැතිය ලබා ගැනීම සඳහා අතිවිශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමටද සමාගම සැලසුම් කර තිබේ.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම මෙරට ප්‍රකට ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතාට අයත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි පරිපාලිත සමාගමකි.

2024 මාර්තු 31 වැනිදා වනවිට සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 193,945,760ක් එනම් 51.72%ක් හිමිව ඇත්තේ සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගමටයි. එසේම ඩාල්වික් ඉන්ක්ලූෂන් ප්‍රයිවට් ලිමිටඩ් සහ මිල්ෆෝර්ඩ් සිලෝන් (පෞද්) සමාගම වෙත කොටස් 71,250,000ක් බැගින් ඇති අතර එය 19%ක ප්‍රතිශතයකි.

Views: 0