රෙනෝ සිල්වා රුපියල් මිලියන 525කට හේලීස් පීඑල්සීහි තවත් කොටස් මිලියන 5ක් මිලදී ගනී

ඒ.බී.සී. මාධ්‍ය ජාලයේ හිමිකරුවා මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන රෙනෝ සිල්වා මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී (HAYL.N0000) සමාගමෙහි තවත් කොටස් මිලියන 5ක් මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේ කොළඹකොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරවාරයේදී මෙම මිලදී ගැනීම සිදුව තිබේ. අද දිනයේදී පළ කෙරුණු ඩේලිඑෆ්ටී පුවත්පත මගින් මේ පිළිබඳව අනාවරණයකර තිබේ. මෙලෙස රෙනෝ සිල්වා මහතා විසින් මිලදී ගන්නාලද කොටස්වල වටිනාකම රුපියල් මිලියන 525කි.

මෙලෙස ඊයේ දිනයේදී අත්පත් කරගත් මෙම නව කොටස් මිලියන පහත් සමගින්ම හේලීස් පීඑල්සී සමාගම තුළ රෙනෝ සිල්වා මහතා සතු කොටස් ප්‍රමාණය මිලියන 20.1ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය එම සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් 2.6෴ක ප්‍රතිශතයකි.

ඒ අනුව මෙම කොටස් මිලදී ගැනීමත් සමගින්ම රෙනෝ සිල්වා මහතා මේ වනවිට හේලීස් පීඑල්සී සමාගමේ දෙවැනි වැඩිම තනි කොටස් හිමිකාරීත්වයක් සහිත පුද්ගලයා බවට පත්ව ඇතැයිද පුවත්පත පවසයි. අද වනවිට හේලීස් සමූහය තුළ තනි පුද්ගලයෙකු ලෙස වැඩිම කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාය. එය කොටස් මිලියන 382.6ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 51%කි.

මේ අතර ඊයේ දිනයේදී හේලීස් පීඑල්සීහි සිදු වූ ගනුදෙනු අතරතුරදී රෙනෝ සිල්වා මහතා මිලදී ගත් කොටස් මිලියන 5ට අමතරව තවත් දෙස් විදෙස් ආයෝජකයන් පිරිසක් එක්ව හේලීස් පීඑල්සීහි කොටස් මිලියන 5ක් මිලදී ගෙන ඇතැයිද වාර්තා පවසයි.

ඒ අනුව ඊයේ දිනය තුළදී පමණක් ගනුදෙනු වී ඇති හේලීස් පීඑල්සී කොටස් ප්‍රමාණය මිලියන 10ක් වන අතර, එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 1කට අධික වෙයි.

මෙහිදී වැඩිම කොටස් අලෙවිය සිදු කර ඇත්තේ සමාගමෙහි අටවැනියට වැඩි කොටස් හිමිකරුවා ලෙස සිටි එම්.එන්. ඩීන් නමැත්තෙකි. මේ වසරේ මාර්තු 31 වැනිදා වනවිට ඔහු සතුව හේලීස් පීඑල්සී සමාගමෙහි කොටස් මිලියන 5ක් පැවැති බව සඳහන් වෙයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී හේලීස් පීඑල්සී කොටසක වටිනාකම 105.25ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති කොටස් වටිනාකම මෙන්ම රුපියල් 5කින් එනම් 5%ක ඉහළ යාමකි.

Views: 0