ෆිජි කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට ශ්‍රී ලාංකික තරුණයෙකු පත් කෙරේ

ෆිජි දූපත්හි කොටස් හුවමාරුව වන SPX (South Pacific Stock Exchange) හි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෂෙරාජ් ඔබේසේකර මහතා පත් කර ඇතැයි එම කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කර සිටියි.

ඒ අනුව 2024 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. ෂෙරාජ් ඔබේසේකර මහතා මේ වනවිට 34 වැනි වියේ පසුවන අතර, මෙම පත්වීමත් සමගින්ම කොටස් හුවමාරු ක්ෂේත්‍රය තුළ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙසටද ඔහු ඉතිහාසයට එක් වෙයි.

ෂෙරාජ් ඔබේසේකර මහතා මීට පෙර 2016 වසරේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් හුවමාරුවෙහි ජ්‍යෙෂ්ට විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහුගේ මෙම සේවා කාලයේදී දේශීය සහ ජාත්‍යන්තර ආයෝජකයන් වෙත ශ්‍රී ලාංකික සමාගම් තුළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මැදිහත් වූ බව සඳහන් වෙයි.

එසේම ඔබේසේකර මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වේදිකාවන් ප්‍රවර්ධනය, සන්නාම, මාධ්‍ය සබඳතා, අභ්‍යනාතර මෙහෙයුම් ඩිජිටල්කරණය කිරිම, දේශීය සහ ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් වර්ධනය කරගැනීම, කොටස් හිමිකරුවන් සබඳතා මෙන්ම කොළඹ කොටස් හුවමාරුවෙහි අනාගත විශේෂ ව්‍යාපෘති යනාදිය සම්බන්ධයෙන්ද කටයුතු කර තිබේ.

ෆිජිහි ක්‍රියාත්මක මෙම  South Pacific Stock Exchange එරට එකම කොටස් හුවමාරුවද වෙයි. එය ෆිජිහි සංචිත බැංකුව මගින් නිකුත් කෙරුණු බලපත්‍රයක් යටතේ 2015 සමාගම් පනත යටතේ ස්ථාපිත කෙරුණු පෞද්ගලික සමාගමකි. එම සමාගම ප්‍රධාන කොටස් හිමිකරුවන් අට දෙනෙකුට අයත් වන අතර, එය අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වෙයි.

මෙම කොටස් හුවමාරුව මගින් ප්‍රාථමික වෙළෙඳ පොළ තුළ ප්‍රාග්ධන රැස් කිරීම සඳහා පහසුකම් සලසා දෙන අතර, ඉන් පසුව ද්විතියක වෙළෙඳ පොළ තුළ ගනුදෙනුව වඩාත් සාධාරණ, විනිවිදභාවයෙන් යුත් වේදිකාවක් තනා දෙන බවත් පවසයි.

Views: 0