කාර්ගිල්ස්  බැංකුවෙහි සභාපති රිචර්ඩ් ඊබෙල් ධුරයෙන් ඉවත් වීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කාර්ගිල්ස් බැංකුවෙහි (CBNK.N0000) සභාපතිවරයා ලෙස කටයුතු කළ රිචර්ඩ් ඊබෙල් මහතා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි පවසයි.

ඒ අනුව ලබන ජූලි 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විශ්‍රාම යෑම සිදුවන බව සඳහන් වෙයි. 2007 අංක 11 දරන බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත නිකුත් කර ඇති සාංගමික යහපැවැත්ම පිළිබඳ උපදෙස් යටතේ මෙම ඉවත්විම සිදුව තිබේ.

මෙම උපදෙස් අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට වසර 09කට වැඩි කාලයක් එම ධුරයේ රැඳී සිටිය නොහැකිය.

ඒ අනුව කාර්ගිල්ස් බැංකුවෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර 09ක් කටයුතු කළ රිචර්ඩ් ඊබෙල් මහතා මෙලෙස එම ධුරයෙන් විශ්‍රාම ගොස් තිබේ.

ඒ මහතා කාර්ගිල්ස් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් වූයේ 2015 ජූලි 03 වැනිදාය. ඒ මහතා කාර්ගිල්ස් බැංකුවෙහි සභාපතිවරයා ලෙස පත් කෙරුණේ 2023 ජනවාරි 25 වැනිදාය.

මෙම විශ්‍රාම යන දිනය වන විට ඒ මහතා සතුව ඇති කාර්ගිල්ස් බැංකුවෙහි කොටස් ප්‍රමාණය ඉදිරියේදී දැනුම් දෙන බවත් කාර්ගිල්ස් බැංකුව සඳහන් කරයි.

කාර්ගිල්ස් බැංකුවෙහි වැඩිම කොටස් හිමිකරුවා වන්නේ කාර්ගිල්ස් (සිලෝන්)පීඑල්සී සමාගමයි. එය 37.09%ක ප්‍රතිශතයකි. එසේම දෙවැනි කොටස් හිමිකරුවා වන්නේ සිලෝන් තියටර්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි. එය 23.62%ක ප්‍රතිශතයකි.

කාර්ගිල්ස් බැංකුව හා සම්බන්ධවිමට පෙරාතුව රිචර්ඩ් ඊබෙල් මහතා වසර 32ක කාලයක් හේලීස්පීඑල්සී සමාගමෙහි සේවකයෙකු ලෙස කටයුතු කර තිබේ. ඒ මහතා 2009 වසරේදී හේලීස් සමූහයෙහි මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සේවයෙන් ඉවත්විය. ඉන්පසුව ඒ මහතා ලෝඩ්ස්ටාර් (පෞද්) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස වසර 2ක් කටයුතු කළේය.

Views: 0